ලෝක කුසලානය ගන්න ඉන්දියාව

ශ්‍රී ලංකා කණ්ඩායමට සෙමි ෆයිනල් යන්න නම් දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් එක්ක තියෙන තරඟ තුනම ජය ගන්න ඕනේ. හැබැයි මේකෙන් තරඟ දෙකක් පමණක් ජය ගත්තොත් අවධානයෙන් අනෙක් කණ්ඩායම් වලට වෙන්නේ මොනාද කියලා බලලා තමා බලාපොරොත්තු ඇති කරගන්න ඕනේ.අපි මේ කියන්නේ අපිට එංගලන්තයෙන් ආපු අපේ ක්‍රිකට් ගැන ආරංචියක්. මේක ඇත්ත ද බොරුද කියන එක අපිට හරියටම කියන්න බෑ හැබැයි ඒ ආරංචි තමා අපි කියන්නේ.බොහෝ දුරට අපිට බටහිර ඉන්දීය කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පරාජය කරන්න හැකි වේවි. හැබැයි අපි දකුණු අප්‍රිකාවට පරාජය වුණොත් ඊළඟට තියෙන තරඟය අනිවාර්යෙන් ජයගන්න ඕනේ. ඒ නිසා එම තරඟයට මේ වෙනකොටත් ශ්‍රී ලංකාව සැලසුම් කරනවලු. විශේෂයෙන්ම මාලිංග ඉන්දීය කණ්ඩායමේ ඉන්න රෝහිත් ශර්මා දවා ගැනීම ගැන කට්ටියට කියලා දෙනවලු. ඒ වගේම බුම්රගේ පන්දු වලට පහරදෙන විදිය ගැනත් මාලිංග කණ්ඩායම පුහුණු කරමින් ඉන්නවලු. ඒ වගේම අනෙක් විශේෂම දේ තමා කාලයක් තිස්සේ පන්දු යැව්වේ නැති ඇන්ජලෝ මැතිව්ස් බොහෝ දුරට ඉන්දීය තරඟයේ පන්දු යැවීමට ඉඩකඩ තියෙනවලු.මොකද ඉන්දීය ක්‍රීඩකයන් ඇන්ජලෝට කිසි දිනක පන්දුවට පහරදීමට පහසු වෙලා නැති නිසා.අනික එම තරඟයේ අපේ කණ්ඩයමේ ප්‍රධාන තුරුම්පුව වෙන්නේ ඇන්ජලෝ මැතිව්ස් ගේ පන්දු යැවීම ලු. පන්දුවාර පහක් ඔහුට ලබාදීමට සැලසුම් කරගෙන යනවලු. ඒ කියන්නේ අපේ කණ්ඩායමේ ඉන්දියාව එක්ක තියෙන තරඟයට ලොකු සටනක් දෙන්න සුදානම් වෙනවලු.

වැරදි වැඩක් කරලා මාට්ටු වෙයි

දකුණු අප්‍රිකාව ලෝක කුසලානයට එන්න කළින් අංක එකේ එක්දින කණ්ඩායම වෙලා හිටියේ. ගොඩක් බලාපොරොත්තු තියන් ආවත්. ලෝක කුසලානය ආරම්භ වෙච්ච දවසේ ඉඳලා දකුණු අප්‍රිකාව තරඟ පිට පිට පරාජය වුණා.අවසානයේ ඔහුන්ට සිද්ද වුණේ ලෝක කුසලානයේ බලාපොරොත්තු සුන් කරගන්න.මේ කියන්න යන්නේ පාකිස්තානය එක්ක තිබ්බ තරඟයේදී ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ඩේවිඩ් මිලර් ඔහුගේ කණ්ඩායමේ A Mට කරපු වැඩක් ගැන. මේ වීඩියෝව මේ වෙනකොට හැමතැනම වයිරල් වෙලා.ඩේවිඩ් මිලර් ඒ වගේ වැඩක් කළේ ඇයි කියන එක තමා ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.පහත තියෙන්නේ වීඩියෝව..

ජංජාලයයි පිටිය උණුසුම් වෙයි

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන තරගයේදී එංගලන්ත පිල ලකුණු 64 කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කර ගත්තා.මෙතෙක් ක්‍රීඩා කළ තරග 7 කින් තරග 6 ක් ජයගත් ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 12 ක් ලබා ගනිමින් පළමු තැන හිමිකර ගත්තා.මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 286 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට පන්දුවාර 44.4 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 221 ක් පමණයි. වෝනර් සමගම එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ නායක ෆින්ච් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පළමු කඩුල්ල වෙනුවෙන් පිට පිටම ගොඩනැංවූ පස්වැනි අර්ධ ශතක සම්බන්ධතාවද එය වුණා.ඉනිම ආරම්භ කරමින් පන්දුවට පහරදීම සඳහා වෝනර් පිටියට එද්දී නරඹන්නන් වෝනර්ට සරදම් සහගත හූවකින් සංග්‍රහ කළේ දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවා වූ බැවිනි. එහෙත් එයින් සසළ වූයේ වෝනර් නොවේ.පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරුවා වී වසරක ක්‍රිකට් තහනමකට මුහුණ දීමෙන් පසුව යළිත් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිස සිටින වෝනර්ය මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා ලකුණු 500 ක් ලබා තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවාද වී සිටිනවා. එහෙත් වෝනර් දැවී ගිය පසුව, ඔහු නැවත ක්‍රීඩාගාරයට යන විටත් නරඹන්නෝ ඔහුට හූ කීම නතර කලේ නැහැ.
මේ අතර ලකුණු 38 ක් ලබාගත් ස්මිත් ආපසු ක්‍රීඩාගාරයට ගියේ හූ හඬ මැද වුවත් ඒ ඔහු දකුණු අප්‍රිකාවේදී කළ පන්දුව පළුදු කිරීම හේතුවෙන්.වීඩියෝ

එංගලන්තය අවධානම් කළාපයේ තබා ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය ලෙස පැවැති එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් ලකුණු 64 ක පහසු ජයක් ලැබූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ( 25 ) සමත් විය. ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයෙ තහවුරු කරගත් පළමු කණ්ඩායම බවට ඕස්ට්‍රේලියාව පත්විය.මෙවර තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව සාර්ථව ආරම්භයක් ලබාගත් එංගලන්ත කණ්ඩායම මේ වනවිට අවධානම් කළාපයේ රැදී සිටින කණ්ඩායමක් බවට පත්ව තිබේ. එයට හේතු වී ඇත්තේ අවසන් කණ්ඩායම් 4 තුළට රිංගා ගැනීමට මේවනවිට ශ්‍රී ලංකව, බංග්ලාදේශය සහ පකිස්තානය අතර දැඩි තරගකාරීත්වයක් හට ගැනීමත් සමගය. ඒ අනුව එංගලන්තයට අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගැනීමට නම් ඉදිරියේදී පැවැත්වෙන ඉන්දියාව සහ නවසීලන්තය එරෙහි තරග දෙක අනිවාර්යයෙන්ම ජයගත යුතු තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඔවුන් එම තරග දෙකම වැඩි ලකුණු ලබා ගැනීමේ වේගයකින් යුතුව ජය ගැනීමට සමත් වුවහොත් කිසිදු පීඩනයකින් තොරව අවසන් පූර්ව වටයේ ස්ථානය නිසැකයෙන්ම තහවුරු වනු ඇත. ශ්‍රී ලංකාවටද තවත් තරග 3ක් ඉතිරිව ඇති හෙයින් අවසන් පූර්ව වටයේ ස්තානය තහවුරු කර ගැනීමට නම් එම තරග 3ම ශ්‍රී ලංකාවට ජයගත යුතුව තිබේ. පවතින තත්ත්වය මත ශ්‍රී ලංකාව එම තරග තුන ජයගත යුතු වන්නේ ධන ලකුණු ලබා ගැනීමේ වේගයක් මතය. මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ලකුණු ලබා ගැනීමේ වේගය පවතිනුයේ සෘන තත්ත්වයක වීම ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තයට පසු අවසන් පූර්ව වටයට රිංගා ගැනීමට මාන බලන සෙසු කණ්ඩායම් දෙක වන්නේ බංග්ලාදේශ කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායමයි. ඔවුන්ද ජයග්‍රාහී මාවතට අවතීර්ණ වී සිටින හෙයින් මේ වනවිට තරගාවලිය දැඩි උණුසුම් තත්ත්වයට පත්ව තිබේ. බංග්ලාදේශයට තවත් තරග 2ක් ඉතිරිව ඇති හෙයින් ඔවුන් එම තරග 2 ජය ගත්තද ඔවුන්ට ලබා ගත හැකි වන්නේ ප්‍රසාද ලකුණු 11ක් පමණි. පකිස්තානයටද තවත් තරග 3ක් ඉතිරිව ඇති හෙයින් ප්‍රසාද ලකුණු සටහනේ යා හැක්කේ උපරිම ලකුණු 11 ක් දක්වා පමනි. මේ තත්ත්වය මත එංගලන්තයට හෝ ශ්‍රී ලංකාවට ඔවුන් සහභාගී වන තරග සියල්ල ජය ගැනීමට හැකි වන්නේ නම්, එම කණ්ඩායම් දෙකින් එකකට අවසන් කන්ඩායම් 4හි අසුන් ගැනීමට අවස්ථාවක් හිමිවනු ඇත. වඩාත් වැදගත් වන්නේ තරග ජයග්‍රහණයන් මෙන්ම ධන ලකුණු වේගයක තම කණ්ඩායම පවත්වා ගැනීමය. කෙසේ වෙතත් නවසීලන්තය සහ ඉන්දියාව තවත් එක් තරග ජයග්‍රහණයක් සමගින් අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගැනීමට වැඩි අවස්ථාව පවති. ඉන්දියාවට තවත් තරග 4ක් සහ නවසීලන්තයට තවත් තරග 3ක් ඉතිරිව ඇති අතර ඔවුන් පිළිවෙලින් ප්‍රසාද ලකුණු 9 සහ 11 බැගින් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානයන්හි රැදී සිටියි.

ජයග්‍රහණය සඳහා ලකුණු 286 ක ඉලක්කය හඹාගිය සත්කාරක එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 44.4 කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 221ක් පමණි.එංගලන්ත ඉනිමේ එකම ලකුණු ලාභියා බවට පත් වූ බෙන් ස්ටොක්ස් ලකුණු 89ක් ලබා සිටියදී මිචෙල් ස්ටාක්ගේ යෝකර් පන්දුවක් හමුවේ දැවී ගියේ සමස්ත තරගයේම වාසිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත නතු කරමිනි. ඔහු දැවීයන විට ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය.එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙකුම ලකුණු 53 ක් තුළදී නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ මිචෙල් ස්ටාක් සහ ජේසන් බෙරන්ඩෝෆ් එංගලන්ත ඉනිම ආරම්භ වී පන්දුවාර 15ක් යාමටත් මත්තෙන් තරගයේ වැඩි වාසිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත නතුකර දුන්හ.තම එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ ජේසන් බෙරන්ඩෝෆ් ලකුණු 44කට කඩුලු 5ක් බිද හෙලීය. එංගලන්ත මුල්පෙළ පිතිකරුවන්ට තර්ජනාත්මක අයුරින් පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් ලකුණු 44කට කඩුලු 4ක් බිද හෙළමින් ජේසන් බෙරන්ඩෝෆ්ට අනගි සහයක් ලබාදුන්නේය.කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කර සිටි අතර ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 285ක් රැස් කළේය.ඕස්ට්‍රේලියානු ඉනිම ඇරඹීමට පිටියට පිවිසි නායක ආරෝන් ෆින්ච් හා ඩේවිඩ් වෝනර් ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 123 සබඳතාවයක් ගොඩ නගමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ ආරෝන් ෆින්ච් මෙවර තරගාවලියේ දෙවැනි ශතකයද වාර්තා කරමින් පන්දු 116කද හයේ පහර 2ක් සහ හතරේ පහර 11ක් සමගින් ලකුණු 100ක් රැස් කිරීමට සමත් විය. ඔහු සමගින් ඉනිම ඇරඹූ ඩේවිඩ් වෝනර් පන්දු 61 කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 53ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් ලකුණු 46කට කඩුලු 2ක් බිද හෙලීය. – සමීර ගොඩපිටිය

බිනුර කණ්ඩායමට

ලෝක කුසලානයට ක්‍රීඩා කරනා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට පුහුණු දැල තුළ හොඳින් පුහුණුවීම සඳහා අවශ්‍ය පන්දු යැවීමට යොවුන් ක‍්‍රීඩක බිනුර ප‍්‍රනාන්දු එක්ව තිබේ. ඒ වේග පන්දු යවන පුහුණුකරු රුමේෂ් රත්නායකගේ ආරාධනයකට අනුවය.23 හැවිරිදි බිනුර ප‍්‍රනාන්දු ශ්‍රී ලංකාව නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් වන අතර ශ්‍රී ලංකා වේග පන්දුවේ අනාගතය යැයි දැඩිව විචාරක පැසසුම් ලැබූ පන්දු යවන්නෙකි.බිනුර මේ දිනවල එංගලන්තයේ යෝක්ෂයර් ප‍්‍රාන්ත පි‍්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරමින් සිටියදී මෙලෙසින් ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ සහයට පැමිණ තිබේ.ඕනෑම කණ්ඩායමක් විදේශයකදී පුහුණුවීම් කරන අවස්ථාවකදී දැල් තුළ පන්දු යැවීමට ක්‍රීඩකයන් ලබා දීම සම්ප්‍රදායයි. කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානයේදි ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට එතරම් හොඳ පන්දු යවන්නන් ලබා දීමට අයි.සී.සීය පියවර ගෙන නැත.එම හේතුවෙන් යෝක්ෂයර් ප‍්‍රාන්ත පි‍්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරමින් සිටි බිනුර ප්‍රනාන්දුට රුමේෂ් රත්නායක පුහුණුකරුගෙන් ආරාධනාවක් ලැබී තිබේ. ලෝක කුසලාන සංචිතයට නම් නොවුනද, දැල් පන්දු යවන්නෙක් වීම තුල කිසිඳු ප්‍රතිලාභයක් නොවුනද, සිය තරගාවලිය අතහැර බිනුර රට වෙනුවෙන් පැමිණීම ප්‍රශංසා කළ යුත්තකි.ශී‍්‍ර ලංකාව සතු වේග පන්දු යවන්නන් අතුරින් වැඩිම උසකින් (අඩි 6.6) යුත් ක‍්‍රීඩකයා වන්නේද බිනුර ප‍්‍රනාන්දුය. ඔහු 2015 වසරේදී පාකිස්තානයට එරෙහිව ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ අතර එම විස්සයි විස්ස තරග දෙකේදී කඩුු 3 ක් දවා ගැනීමට බිනුරට හැකිවිය. එහිදි ඔහු විසින් දවා ගත් ෂාහිඩ් අෆ්රිඩිගේ කඩුල්ල මෙරට රසිකයන්ගේ මතකයේ තවමත් රැඳී පවතියි.මේ පිළිබඳව අදහස් දක්වන බිනුර,‘‘රුමේෂ් සර් මගෙන් ඇහුව්වා පන්දු යවන්න එනවද කියලා. ඒ නිසා මම ආවා. මම ක‍්‍රීඩා කරන්නෙ ප‍්‍රාන්ත තරගවලදී අසාර්ථක වන ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කරන පි‍්‍රමියර් තරගාවලියට. ඒක මට ලැබුණු ලොකු අවස්ථාවක්. මෙහෙ තියෙන්නෙ වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු. මම දැනට තරග හතරකට කී‍්‍රඩා කරලා කඩුලූ 15 ක් දවා ගෙන තියෙනවා.’’‘‘පාකිස්තානය සමග 2015 වසරේදී විස්සයි විස්ස තරග දෙකකට ක‍්‍රීඩා කළා. ඊට පස්සෙ මගේ පාදයේ ආබාධයක් ඇති වුණා. ඒ ආබාධයෙන් පස්සෙ 2018 වසරේදී මාව ආයිත් ජාතික කණ්ඩායමට කැඳෙව්වා. ඊට පස්සෙ යළිත් අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඒ නිසා එංගලන්තයට ඇවිල්ලා අත්දැකීම් ලබා ගන්න මම හිතුවා. ඉදිරියේදී මම හිතනවා යළිත් ජාතික කණ්ඩායමට එන්න පුළුවන් වෙයි කියලා. අපිට හොඳ වේග පන්දු යවන්නන් ඉන්නවා.’’ යනුවෙන් වැඩිදුරටත් පවසනවා.

ඒ නිසා මටත් වේදනාව දැනෙනවා

මෙවර ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය බොහෝ දෙනාගේ අවධනායට ලක්ව තිබෙනවා.ඔවුන් ඊයේ (23) පාකිස්ථානු කණ්ඩායම හමුවේද පරාජයට ලක්වූ අතර 2019 ලෝක කුසලානයෙන් ඉවත් වූ දෙවන කණ්ඩායම බවටද පත් වුණා.තරඟයෙන් අනතුරුව ඉතා කළකරීමෙන් අදහස් පළකල දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩූ ප්පෙසිස් සඳහන් කළේ මේ මොහොතේ මුහුණුදීමට සිදුව ඇති තත්වය ඉතා අසීරු බවයි.“මේ තත්ත්වයට මුහුණ දෙන්න ඉතාම අපහසු වේගන එනවා. අපි උත්සාහ කරනවා. ඒත් ඒක අමාරුයි….මමත් මනුෂ්‍යයෙක්නේ….ඒ නිසා මටත් වේදනාව දැනෙනවා”“මම ක්‍රීඩකයෙක් හැටියටත් නායකයකු හැටියටත් ආඩම්බර වෙනවා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම කියන්නේ මට විශාල දෙයක්. ඒත් මේ වෙලාවේ අපට මුහුණ දෙන්න තියෙන ප්‍රතිඵලය සමග ගනුදෙණු කිරීම ඉතාම අසීරුයි”දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ග්‍රෑම් ස්මිත් සඳහන් කළේ කණ්ඩායමේ තත්වය බලා සිටීමට පවා අපහසු බවයි.එමෙන්ම හිටපු වේග පන්දු යවන්නෙකු වූ ඇලන් ඩොනල්ඩ්ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ලෝක කුසලානය තරඟාවලියෙන් අනතුරුව බොහෝ ප්‍රශ්ණ යොමුවනු ඇති බවයි.මේ අතර හිටපු දකුණු අප්‍රිකානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ජැක් කලිස් පවස්නනේ පරාජයට වීම ක්‍රීඩාවේ කොටසක් වුවත් ප්‍රතිවාදි කණ්ඩායම් වලට ඔවුන්ගේ උපරිමයේදී නොසිටියත් දකුණු අප්‍රිකාව පරාජයට පත් කිරීමට හැකිවීම කණගාටුදායක බවයි.

ප්‍රනාන්දුගේ පිතිහරඹය දැකලා පුදුම වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා

පසුගියදා ශ්‍රී ලංකාව එංගලන්තය සමග පැවති තරඟයේදී ප්‍රහාරාත්මක පිතිහරඹයක් එල්ල කල අවිශ්ක ප්‍රනාන්දු අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන කෙරුම්කරයා බවට පත්වන බවට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රොබින් උතාපා පවසනවා. ශ්‍රී ලංකා – එංගලන්ත තරඟයේ සමාලෝචනය සම්බන්ධව සාකච්ඡා කරන අතරවාරයේ ඔහු මේ බව පැවසුවා. එහිදී උතාපා වැඩිදුරටත් පවසා සිටියේ අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වශයෙන් දීර්ඝ කාලයක් ක්‍රීඩා කරන ලක්ෂණ පෙන්නුම් කරන බවයි. මේ අතර ඔහු තණතිල්ලේ ක්‍රීඩා කරන ආකාරය දෙස බැලූ විට ශ්‍රී ලංකාවේ දැනට ක්‍රීඩා කරන හොඳම පිතිකරුවෙකු සේ ක්‍රීඩා කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. අවිශ්ක ප්‍රනාන්දු ගේ පිති හරඹය දිහා බලන විට අරවින්ද ද සිල්වා ගේ පිති හරඹය නිරන්තරයෙන් තම සිහියට පැමිණි බවත් රොබින් උතාපා පවසනවා. වීඩියෝ

උඩ පන්දුව ගිලිහුණාම මම ටිකක් බයවුණා

මෑතකදී සමාජජාල ඔස්සේ වැඩිම විවේචනයට ලක්වන ක්‍රිකට් ක්‍රීඩකයා වූ කුසල් මෙන්ඩිස් එංගලන්ත කණ්ඩායම සමඟ පැවැති තරගයේදීද ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ලබාගත යුතුව තිබූ උඩ පන්දුවක් මිඩ්විකට් කලාපයේ පන්දු රකිමින් සිට බිම හෙළීමත් සමඟ යළිත් සමාජජාල තුළ කතාබහට ලක්වුවත් නුවන් ප්‍රදීප් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කුසල් එම අපවාදයෙන් යම් පමණකට මුදාගන්නට සමත් විය. ඒ පිළිබඳ අදහස් දැක්වූ කුසල් “එම තරගය පරාජය වූවානම් දෝෂාරෝපණය කෙළින්ම මට එල්ල වෙන නිසා උඩ පන්දුව ගිලිහුණාම මම ටිකක් බයවුණා. නමුත් නුවන් අවසන් කඩුල්ල දවාගත්තම මම සතුටු වුණා” යනුවෙන් පැවැසීය. කෙසේ වෙතත් එම තරගයෙන් අනතුරුව මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීම පැසසුමට ලක්කළ මෙන්ඩිස් ප්‍රකාශ කර සිටියේ ක්‍රිකට් දිවියට සමුදීමෙන් පසුව මාලිංග ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලය සමඟ එක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මෙන්ඩිස් “මාලිංග කියන්නේ විශිෂ්ටයෙක්. මම ඔහුව දන්න කාලෙ ඉඳලා ඔහු විශිෂ්ටයෙක්. මාලිංග විවිධාංගීකරණය වූ පන්දු යැවීමක් සහිත පන්දු යවන්නෙක් වගේම විස්සයි-20 තරග බොහොමයකට ක්‍රීඩා කර තිබෙන හොඳ පන්දු යවන්නෙක්. එමෙන්ම හොඳ විශ්වාසයකින් යුත් තරග දිනවන පන්දු යවන්නෙක්” යනුවෙන් පැවැසීය.
මේ අතර ලසිත් මාලිංගගේ පන්දු යැවීම පිළිබඳ අනාවරණයක්ද කළ මෙන්ඩිස් “මම දැල් ආවරණ තුළ පුහුණුවීම් කරද්දි මාලිංගගේ පන්දුවලට මුහුණ දෙන්න කැමැති නැහැ. ඔහු වේගය අඩාල කළ පන්දු, වැඩි ඉපිලීමක් සහිත පන්දු, යෝකර් පන්දු යොමු කරනවා. මම බලාපොරොත්තු වෙනවා ඔහු ක්‍රිකට් පිටියෙන් සමුගත්තට පසුවත් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමඟ ඉඳීවි කියලා. ඔහු සැමවිටම පන්දු යවන්නන්ට කතා කරලා ඔවුන් තුළ විශ්වාසය ඇති කරනවා. අපේ පන්දු යැවීමේ බළඇණියේ නායකයා මාලිංගයි” යනුවෙන් සඳහන් කළේය.

දකුණු අප්‍රිකානුවන්ගේ දොරටු වැසේ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර ලෝඞ්ස්හිදී අද (23 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 49 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්තානය සමත්විය. ඒ අනුව පාකිස්තානය තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට අවස්ථාව හිමිකරගත් අතර දකුණු අප්‍රිකානුවන්ගේ අවසන් බලාපොරොත්තුවත් සුන්වී ගියේය.දකුණු අප්‍රිකානුවන්ට මෙන්ම තමන්ටද අද තරගය බෙහෙවින් තීරණාත්මක බව දන්නා මැද පෙළ පිතිකරු හැරිස් සොහේල්ගේ ප්‍රචණ්ඩ පිතිහරඹය හේතුවෙන් පාකිස්තානුවෝ නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 308 ක් ලබාගත්හ. අනෙක් අතට ලෝක කුසලාන තරග ඉතිහාසය දෙස බැලීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමක් විසින් හඹාගොස් පසුකරන ලද ඉලක්කය ඇත්තේ 297 දීය.මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සිය දෙවැනි තරගයට ක්‍රීඩා කරන හැරිස් සොහේල්ගේ ඉනිමෙන් කියා දුන්නේ ඔහු මීට වඩා තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කළ යුතුව තිබූ බවයි. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගයෙන් පසුව හැරිස් සොහේල්ට කණ්ඩායමේ ස්ථානය අහිමි විය.හැරිස් සොහේල් හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් සමගින් පන්දු 59 කදී ලකුණු 89 ක් ලබාගන්නා අතරේ බාබර් අසාම් ක්‍රමාණුකූලව ලකුණු 69 ක් ලබාගත්තේය. දෙදෙනා අතර සම්බන්ධතාව ලකුණු 81 කි.කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායක සර්ෆ්‍රාස් අහමඞ් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කිරීමත් සමගම ෆකාර් සමාන් සහ ඉමාම් උල් හක් දෙදෙනාගෙන් කදිම ආරම්භයක් ලැබිණ. ලකුණු 81 ක සම්බන්ධතාව දිගහැරෙද්දී පාකිස්තානු බැනියම් වලින් සැරසුනු නරඹන්නන්ගෙන් සිය කණ්ඩායමට ලැබුණේ විශාල සහයෝගයකි.ලුන්ගි න්ගිඩිගේ පන්දුවක් ෆකර් සමාන් විසින් නරඹන්නන් අතරට යැවීමත් සමගම පාකිස්තානු ලකුණු පුවරුව ඕවර 6 කදී කිසිවකු නොදැවී 44 ක් ලෙසින් සටහන් විය. ක්‍රිස් මොරිස්ගේ පන්දුවක් හමුවේ ෆකර් සමාන් ගැසූ පහරකින් උඩපන්දුවක් රැකගත්තේ යයි ඉම්රාන් තහීර් කියා සිටියද රූපවාහිනී පුනරූපන වලින් හෙළිවූයේ පාකිස්තානයේ උපන් දකුණු අප්‍රිකානුවාගේගේ දෑත් අතර සිරවීමට පෙර පන්දුව බිම වැදුණු බවයි.

තහීර් නැවතත් පන්දු යැවීමට පැමිණි අවස්ථාවේදී පාකිස්තානු නරඹන්නන්ගේ සරදමට ලක්වූ නමුත් ෆකර් සමාන්ගේ කඩුල්ල දවාගැනීමට තහීර් සමත් වූයේය. ඒ සමගම දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන කඩුලු සංඛ්‍යාවක් දවාගත් ඬේල් ස්ටේන්ගේ වාර්තාව (39) සමකිරීමටද තහීර් සමත් වූයේය.1992 දී නැවතත් අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රයට පිවිසි දකුණු අප්‍රිකානුවෝ එදා සිට සෑම ලෝක කුසලාන තරගාවලියකදීම පාහේ පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසියහ. දකුණු අප්‍රිකානුවන්ට දෙවැනි වටය අහිමි වූයේ 2003 දී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ කළ ගණන් වරද්දාගැනීම නිසාය.එහෙත් අද තරගය පරාජය වුවහොත් බලාපොරොත්තු වූවාටත් වඩා වේලාසනින්ම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට දකුණු අප්‍රිකානුවන්ට සිදුවනු ඇත. ඬේල් ස්ටේන් ඇතුළු වේග පන්දු යවන්නන් තුවාල ලබා සිටීම හේතුවෙන් දකුණු අප්‍රිකානුවන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙමින් පවතින නමුත් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසේ යයි බලාපොරොත්තු තැබූ කණ්ඩායමක් වෙතින් දක්නට ලැබුණේ බලාපොරොත්තු වූවට වඩා අඩු දස්කම්ය.

මාලිංගගේ සික්ස් පැක් හොයපු අයට මහේල උත්තර දෙයි

එංගලන්තයට මෙවර ලෝක කුසලානයේ දී නොසිතූ පරාජයක් උරුම කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දා සමත් වූයේ ලීඩ්ස් හිදීය. ජයග්‍රහණ නියඟයකින් පීඩා විදිමින් සිටි ශ්‍රී ලංකාවට යම් සැනසීමක් ගෙන දීමට එම ජයග්‍රහණය ඉවහල් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සන්නාම තානාපතිවරයෙක් ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වා සිටියේ මෙසේයි. මෙම තරගයේ දී සුපුරුදු පරිදි තම වගකීම අකුරටම ඉෂ්ට කළ ලසිත් මාලිංග පිළිබඳව මහේල විශේෂයෙන් අදහස් දක්වා සිටියා. මාලිංග තම පන්දුවාර 10 තුල දී ලකුණු 43කට කඩුලු 4ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ අඩිතාලම දැමීමට සමත් විය. තරගයේ මුල් පන්දුවාර කීපයෙ දී ම එංගලන්ත ආරම්භක පිතිකරුවන් වන ජොනී බෙයාස්ටෝව් (0, 0.2 ov) හා ජේම්ස් වින්ස් (14, 6.5 ov) දවා ගැනීමට මාලිංග සමත් වූ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ දී ලැබුණු විශාල ‘තල්ලුවක්’ විය.නැවතත් ක්‍රියාත්මක වූ මාලිංග ජෝ රූට් (57, 30.3 ov) හා ජෝස් බට්ලර් (10, 32.3 ov) දවා ගැනීමට සමත් විය. පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර ගිය මාලිංගගේ ඡායාරූපයක් පිළිබඳව සියලු දෙනාගේම අවධානය යොමු වූ අතර බොහෝ දෙනාගේ ඊට විවේචන ද එල්ලව තිබිණි. “මේක සික්ස් පැක් ගැන දෙයක් නෙමෙයි. මේක දක්ෂතාවය පිළිබඳව දෙයක්. ලසිත් මාලිංග තමන්ගේ දක්ෂතාවය පෙන්වූවා” මහේල තම වාර්තාවේ සඳහන් කර සිටියා.

“ඔහු ශ්‍රී ලංකාවට අවශ්‍යම මොහොතේ මේ වගේ දස්කම් දක්වලා තියනවා පසුගිය වසර කීපයේම. ඔහු උපරිම දක්ෂතා වල ඉන්නවා දකින එක සතුටක්. ඔහු අලුත් පන්දුවෙන් මෙහෙයුමක හිටියේ. ලොකු ක්‍රීඩකයන් ලොකු තරගවල දී දස්කම් දක්වනවා. ඒක තමයි ඔහු කළේ. රූට් හා බට්ලර් දවා ගැනීම විශේෂයි. ඔවුන් එංගලන්තය ජයග්‍රහණය කරවන්න ඉඩ තිබුණා.”මෙවර ලෝක කුසලානයට අඩුම අවධානයක් සහිතව පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට අවසන් පූර්ව වටයට පිවිසීමට බලාපොරොත්තුවක් ඇතිකරගෙන සිටී. මහේල ජයවර්ධන පවසා සිටියේ ශ්‍රී ලංකාවේ මෙම නොසිතූ ජයග්‍රහණය අවසන් පූර්ව වටයේ තරගකාරීත්වය තවත් වැඩි කල බවයි. එංගලන්තය මෙවර ලෝක කුසලානයේ ප්‍රබලතම කණ්ඩායමක් වනු ඇතැයි තරගාවලියට පෙර බොහෝ දෙනා මත පලකර තිබූ නමුත් මේ වන විට එංගලන්තය තරග දෙකක් පරාජය වී අවසන්. එංගලන්තය, පාකිස්තානය හමුවේ නොසිතූ පරාජයකට ලක්වූ අතර පසුගිය දා ශ්‍රී ලංකාව ද ඔවුන්ට නොසිතූ පරාජයක් උරුම කර දුන්නේය.“මේක ලංකාව ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක්. මේක ලෝක කුසලානයටත් හොඳ දෙයක්. අවසන් පූර්ව වටයේ අවස්ථාවන් වැඩි වෙනවා. දැන් මුල් ස්ථාන 4 ඉන්න කණ්ඩායම් ඔවුනොවුන් එක්ක ක්‍රීඩා කරාවි. ලකුණු අඩු වැඩි වීම් සිදුවේවි. නවසීලන්තය බැලුවොත් ඔවුන්ට ඕස්ට්‍රේලියාව හා එංගලන්තය එකක තරග කරන්න තියනවා. ““මේක ලොකු අවස්ථාවක් බංග්ලාදේශයට, ශ්‍රී ලංකාවට හා කොදෙව් කණ්ඩායමට තරග කීපයක් ජයග්‍රහණය කරලා ලකුණු ලබාගෙන පරතරය අඩු කරගැනීමට.”1996 ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම යම් පසුබෑමකට ලක්ව ලෝක කුසලානයට එක්වුවද මේ වන විට ඔවුන් අංක 5 ස්ථානයේ රැඳී සිටී. ශ්‍රී ලංකාවට තවමත් ලෝක කුසලාන සිහිනය හඹා යාමේ අවස්ථාව පවතී.