ණය ගෙවන්න කරන්න යන දේ

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දීම නතර කිරීමත් සමඟ පසුගියදා දිවයිනේ ප්‍රදේශ රැසකට නොදන්වා විදුලි කප්පාදුවක් සිදුකළා. ලංකා විදුලිබල මණ්ඩලයට ඛණිජ තෙල් සංස්ථාව විසින් ලබා දී තිබෙන ණය සීමාව රුපියල් බිලියන 80ක් වන අතර එම ණය සීමාවද ඉක්මගොස් තිබීම හේතුවෙන් මෙලෙස විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දීම නතර කිරීමටයි තෙල් සංස්ථාව තීරණය කර තිබුණේ.කෙසේ වෙතත් හිඟ ණය මුදල ගෙවීම සම්බන්ධයෙන් මතු වූ එකගතාවයක් හේතුවෙන් ඊයේ (09) දිනයේ ලංකා විදුලිබල මණ්ඩලයට යළි ඉන්ධන ලබා දීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.ඒ අනුව රුපියල් බිලියන 80 ක ණය එකවර ගෙවා දමන්නේ කෙසේදැයි විදුලිබල අමාත්‍යංශයෙන් අප කළ විමසීමකදී එහි ලේකම් සුරේන් බටගොඩ කියා සිටියේ සම්පූර්ණ ණය මුදලින් කොටසක් හෝ පියවීමට අපේක්ෂා කරන බවයි. ඒ සඳහා බැංකුවකින් යළි ණය මුදලක් ලබා ගැනීමට තීරණය කර ඇති බවද විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළා.පවතින එකඟතා මත මේ වනවිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකිදැයි විදුලිබල අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂන ජයවර්ධනගෙන්ද අප විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ රුපියල් බිලියන 15ක ණය මුදලක් ලබා ගැනීමට මේ වනවිට තීරණයක් ගෙන ඇති බවයි. හිඟ ණය මුදල යම්තාක් දුරකට හෝ පියවීමෙන් පසු විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන, ඛණිජ තෙල් සංස්ථාව අඛණ්ඩව ලබාදෙනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කළා.

පින්නදූව හුවමාරුවේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුමේ ඉදිකර ඇති බුදු පිළිමය එම ස්ථානයෙන් ඉවත් කිරීමට ලැබුනු බව කියන නියෝගයක් මුල් කරගනිමින් ඊයේ (08) රාත්‍රියේ පින්නදුව පිවිසුමේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණා.එම ස්ථානයේ ඉදිකර ඇති බුදු පිළිමය ඊයේ (08) මධ්‍යම රාත්‍රියට පෙර ඉවත් කිරීමට නියෝගයක් ලැබී අතැයි පවසමින් භික්ෂුන් වහන්සේලා, ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පිරිසක් ඊයේ සවස 07.00 ට පමණ එම ස්ථානයේ විරෝධතාවයක නිරත වූ අතර අදාළ ස්ථානයට විශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවා තිබුණා. අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කළහෙවත්ත ඇතුළු මන්ත්‍රිවරුන් හා ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන විහාරාධිපතිවරුන් ඇතුළු ස්වාමීන් වහන්සේලා 40 ක පමණ පිරිසක් එම ස්ථානයට රැස්ව සිටි අතර එහිදී අදහස් දැක් වු විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස් පවසා සිටියේ මාර්ග සංවර්ධන විෂය භාර අමාත්‍යවරුන්ගේ උපදෙස් මත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් අදාළ බුදුපිළිමය 08 වැනි දින රාත්‍රි 12.00 ට පෙර ඉවත් කරන ලෙස දැනුම් දී ඇති බවත් එවැන්නක් සිදු කරන්නේ නම් තමන් දිවිහිමියෙන් ඒ සදහා කැපවෙමින් මෙය ආරක්ෂා කරන බවත්ය..කෙසේ වෙතත් පසුව දුරකතනය ඔස්සේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාරට සහ විරෝධතාවයේ යෙදී සිටි ස්වාමීන්වහන්සේලා ඇතුළු පිරිසට කියා සිටියේ කිසිසේත්ම බුදු පිළිමය එම ස්ථානයෙන් ඉවත් නොකරන බවයි. එසේම එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි ද කියා සිටියේ බුදු පිළිමය ඉවත් නොකරන බවයි.

ලෝක වාර්තාවක් තැබූ ලංකාවේ පුංචි කතුවරයා

ඇමෙරිකාවේ “ගුගල්” ආයතනය විසින් පවත්වනු ලබන “ලෝකයේ ලාබාලතම පරිසර පර්යේෂණ ග්‍රන්ථ කතුවරයා” තරඟාවලියට ඉසුරු අරුණෝද නාකන්දල සිසුවා සිය ග්‍රන්ථය ඉදිරිපත් කරමින් එම තරඟාවලියෙහි ප්‍රථම ස්ථානය ලබා ලෝක වාර්තාවක් තැබීමට සමත්ව තිබේ. ඒ අනුව මෙම වසරේ ලෝකයේ ලාබාලතම පරිසර පර්යේෂණ ග්‍රන්ථ කතුවරයා වන්නේ ශ්‍රී ලංකාවේ ඉසුරු අරුණෝද නාකන්දල ශිෂ්‍යයායි.මෙම තරඟයට ඔහු ඉදිරිපත් කර තිබෙන “හොරගොල්ල ජාතික වනෝද්‍යානය සහ එහිදි අපට හමුවන සතුන්ගේ අසිරිය” කෘතිය පරිච්ඡේද හයකින් සහ වචන 6500 කින් සමන්විත වන අතර එම කෘතිය ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කර තිබෙන්නේ ඉසුරුගේ පියා වන හර්ෂ උදය නාකන්දල මහතා විසිනි.ඉසුරු නාකන්දල ශිෂ්‍යයා මෙම තරඟයේ ජයග්‍රහණය ලබා ලෝකයේ ලාබාලතම පර්යේෂණ ග්‍රන්ථ කතුවරයා යන වාර්තාවට හිමිකම් කියා ඇත්තේ මීට පෙර වයස අවුරුදු නවයක ඇමෙරිකානු දැරියක විසින් තබා තිබූ ලෝක වාර්තාව බිද හෙලමින් වීම විශේෂත්වයකි.අනාගතයේ සත්ව විද්‍යාඥයෙකු වීමට බලාපොරොත්තුවෙන් පසුවන ඉසුරු අරුණෝද චිත්‍ර ඇදීමට, ආත්මාරක්ෂක සටන් කලාවට සහ මලල ක්‍රීඩාවට පාසලේදී දස්කම් දක්වන අතර වෙළඳ හා ව්‍යාපාර කළමණාකරණ කථිකාචාර්යවරයෙකු වන ඔහුගේ පියා සහ ආයුර්වේද චිකිත්සකවරියක ලෙස කටයුතු කරන ඔහුගේ මව ඉසුරු අරුණෝදගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මහගු දායකත්වයක් සපයමින් සිටිති.

වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ සිව් වන වසරේ අධ්‍යපනය හදාරන ඉසුරු අරුණෝද නාකන්දල ශිෂ්‍යයා විසින් රචිත “හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ සහ එහිදී අපට හමුවන සතුන්ගේ අසිරිය” නම් වූ පරිසර පර්යේෂණ ග්‍රන්ථය ඊයේ (02) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත පිරිනැමීම අරලියගහ මන්දිරයේදී සිදු කර තිබේ.

පුජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් මෙම මස 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.ඊයේ (02) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ජාතික රෝහලට සහ නාරාහේන්පිට පොලිස් රෝහලට පැමිණ හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.අප්‍රේල් 21 වැනි දින එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීම අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හා පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණීම සම්බන්ධයෙන් මෙලෙස ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේය.

අද සිට රාජ්‍ය සේවක වැටුප් හා දීමනා ඉහළ යන්නේ මෙහෙමයි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරි පත් කරනු ලැබූ 2019 අයවැය මගින් යෝජිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ඇතුළු වැටුප් සහ දීමනා ඉහළ නැංවීම අද (01) සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසයි. මේ යටතේ ලක්ෂ 11ක් පමණ වන රාජ්‍ය සේවයකන්ට රුපියල් 2,500/=ක අන්තර් කාලීන දීමනාවක්, ආරක්ෂක අංශ දීමනා ඉහළ නැංවීම, විශ්‍රාම වැටුප් විශමතා ඉවත් කිරීම සහ විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ දීමනා ඉහළ නැංවීම සිදු කෙරේ. මේ වෙනුවෙන් රජය වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 40,000කට ආසන්න ය.රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම යටතේ ලක්ෂ 11ක් පමණ වන රාජ්‍ය සේවයකන්ට රුපියල් 2,500/=ක අන්තර් කාලීන දීමනාවක් අද සිට හිමිවේ. මේ වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් මිලියන 20,000කි. මෙම අන්තර් දීමනාව අද සිට ක්‍රියාත්මක වුව ද මෙතෙක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබා දුන් රුපියල් 7,800 ජීවන වියදම් දීමනාව එලෙසම තව දුරටත් ගෙවනු ලැබේ.මේ අතර ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ගෙවනු ලබන දීමනා ඉහළ නැංවීමේ තවත් පියවරක් අද සිට ක්‍රියාත්මක ය. එම නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව ඉකුත් ජනවාරි මස සිට ඉහළ නැංවීමට රජය පියවර ගත්තේ ය. ඒ අනුව නිලධාරීන්ගේ සලාක දීමනාව රුපියල් 23,231 දක්වා ද සෙසු නිලයන්ගේ සලාක දීමනාව රුපියල් 19,350 දක්වා ද මේ වන විටත් ඉහළ නංවා ඇත. ඊට අමතරව අද සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව දෙගුණ කෙරේ. එසේ ම යුධ, නාවුක හා ගුවන් හමුදා සේවයේ සමාන නිලධාරීන්ගේ කමාන්ඩෝ දීමනාව රුපියල් 1,000 කමාන්ඩෝ දීමනාව ද රුපියල් 5,000 දක්වා අද සිට ඉහළ නැංවේ. මේ වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් මිලියන 1,175කි.මීට අමතරව විශ්‍රාමිකයන්ගේ වැටුප් විශමතා ඉවත් කිරීමේ අයවැය යෝජනාව ද අද සිට ක්‍රියාත්මක ය. ඒ අනුව 2015 දෙසැම්බර් 31ට පෙර විශ්‍රාම ගිය ලක්ෂ 5ක් පමණ වන සියලුම විශ්‍රාමිකයන්ට මේ යටතේ රුපියල් 2,800 අවමයක සිට රුපියල් 20,000 උපරිමය දක්වා විශ්‍රාම වැටුප ඉහළ නැංවේ. මීට අමතරව විශ්‍රාමිකයන් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 3,525 ජීවන වියදම් දීමනාව එලෙස ම තව දුරටත් ගෙවනු ලැබේ. මෙම විශ්‍රාම වැටුප් විශමතා ඉවත් කිරීම වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල් රුපියල් මිලියන 12,000කි.

මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ මාසික දීමනාව රුපියල් 2,000 සිට 5,000 දක්වා ඉහළ නැංවීමේ අයවැය යෝජනාව ද අද සිට ක්‍රියාත්මක ය. ඒ අනුව මෙතෙක් එම දීමනාවට හිමිකම් ලබා සිටි පුද්ගලයන් 32,000ට අමතරව දීමනාව ලබා ගැනීමේ අරමුණෙන් පොරොත්තු ලේඛනයේ රැඳී සිටි පුද්ගලයන් 40,000ක් ඇතුළු විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් 72,000කට මෙම දීමනාව අද සිටි හිමිවේ. ඒ වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4350කි.නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටින 21,000ක පමණ වන පිරිසකට රජය මගින් දැනටමත් රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබා දෙනු ලබයි. තවත් විශාල පිරිසක් එම දීමනාව ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛන ගතව සිටි අතර ඉන් තවත් 5,000ක පිරිසකට එම දීමනාව ලබා දීම ද අද සිට සිදු කෙරේ. ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1,840කි.ඒ අනුව අද සිට ක්‍රියාත්මක කෙරෙන මේ සියලු වැටුප් සහ දීමනා වෙනුවෙන් රජය විසින් රුපියල් 39,365කි.

07ක නම් කියයි

තුට්ටු දෙකේ දේශපාලනඥයින් හත් දෙනෙකුගේ දේශපාලන ජාවාරම් මාකදුරේ මධූෂ් විසින් හෙළිකර ඇති බවත්, ඔවුන්ගේ නම් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලින්යෙන් පසු ජනතාවට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.එම දේශපාලනඥයින්ගෙන් තිදෙනෙකු විපක්ෂයේ බවත්, සිව් දෙනෙක් ආණ්ඩු පක්ෂයේ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. විපක්ෂයේ සිටින එක් අයෙකු තමන්ට චෝදනා එල්ල කළ විමල් වීරවංශ මහතාගේ ගෝලයෙකු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.උතුරු පයාගල සිට ගොරකදුව පාර අධිෂ්ඨාන පුර දක්වා මාර්ගය කාපට් කිරිම ආරම්භ කිරීමෙන් පසු පැවැති ජන හමුවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (29) පස්වරුවේ මේ බව ප්‍රකාශ කළේය. මාර්ගය කාපට් කිරීම සදහා වැය කරන මුදල තුන්කෝටි අසූඅටලක්ෂයකි. මෙම මාර්ගයේ කිලෝමීටර් 02 වැඩි කොටසක් මෙලෙස කාපට් කිරීමට කටයුතු යොදා ඇත.මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම නීති විරෝධී මත්පන් නිෂ්පාදනාගාරය විශේෂ කාර්ය බලකාය පසුගියදා වටලනු ලැබුවා. එය කාගේ ද කියා කවුරුත් දන්නවා ප්‍රාදේශීය සභාවේ ඉදලා කැබිනට් අමාත්‍යධූරයක් වත් නොලබා කළුතරම දිස්ත්‍රික්කයම සල්ලිවලට ගන්න පුළුවන් ඒකාබද්ධ විපක්ෂයේ කෙනෙක් තමයි එම නිෂ්පාදනාගාරයට පූර්ණ සහයෝගය ලබාදෙන්නේ. අල්ලාගත් සැකකරු ඒකාබද්ධ විපක්ෂයෙන් මැතිවරණ වලටත් ඉදිරිපත් වුනා.

පසුගිය රජය කාලයේ ද කළුතර දිස්ත්‍රික්කයේ රා කර්මාන්තය විනාශ කිරීමට ඔවුන් කටයුතු කළා. රා කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට මම වැඩපිළිවෙළක් දියත් කළත් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩි වුනා. වෛද්‍යවරයෙක් ලෙස මම රා බීම හොද යැයි කියන්නේ නැහැ. රා කර්මාන්තය විනාශ කරමින් සමාගම් වලට රා කර්මාන්තය විකුණලා දැම්මා.බේරුවලට කෘත්‍රීම රා හලාවත සිට ගෙනඒමට පටන් ගත්තා. ඒවා ශරීරයට අහිතකරයි. එවැනි වැරදි සිදු කළේ මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයට සහයෝගය ලබාදුන් පුද්ගලයායි. ඊට එරෙහිව මම සටන් කළත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උල්පන්දම් ලබාදුන්නා. එවැනි අපචාර නතර කිරීමට උත්සාහ කළේ නැහැ. මට කළකිරීමක් ඇති වුනා.වත්මන් රජය යටතේ කෘත්‍රීම රා නිෂ්පාදනය කිරීම නතර කිරීමට අපට හැකියාව ලැබුනා. ඒ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විඡේමාන්න මහතාගෙන් සහයෝගය ලැබුනා. විශේෂ කාර්ය බලකාය විසින් වැටලූ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකුට විතරක් පව්ත්වාගෙන යන්න බැහැ. කාගේ හරි මුදල් ආයෝජනය කළ යුතුයි.පසුගිය කාලයේ මත්පැන් නිෂ්පාදනය අඩු වුනා කියලා කියනවා. නමුත් දේශපාලන බලපෑම් මත මෙවැනි ආකාරයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සිදුව තිබෙනවා. එවැනි තුට්ටු දෙකේ දේශපාලනඥයින් සමග තමයි අපි රට හදන්න යන්නේ. ජනතා ඡන්දයෙන් ඔවුන් බිස්නස් කරනවා. නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙලට මෙන්ම පිළිකා ඖෂධ අඩු කිරීමේ වැඩපිළිවෙළටත් ඇතැම් වෛද්‍යවරුන් විරුද්ධයි.මම දුම්කොළ, ඖෂධ, පැණිබීම මාෆියාවට එරෙහිව සටන ආරම්භ කළ විට ලෝක සෞඛ්‍ය සංවිධානය සහයෝගය ලබාදුන්නා. එම සංවිධානයේ 2016 වාර්තාවේ සදහන් වෙනවා මෙම සටනේ දී අපි සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින බව.

පසුගිය කාලයේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආනයනය කරමින් කොමිස් ගත් පුද්ගලයින් මට විරුද්ධව වැඩ කරනවා. මගේ චරිතය ඝාතනය කරන්න හදනවා. පෙත්සම් අත්සන් කරනවා. සේනක බිබිලේ මහතාටත් විරුද්ධව එවැනි වැඩපිළිවෙළක් දියත් වුනා. ඔහු අවසානයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සිටින්නේ කෙළෙහි ගුණ නොදත් අය කියලයි.කුමන බාධක පැමිණියත් මම කලබල නොවී ඉදිරියට යනවා. මෙවැනි කොල්ල කෑම් නතර කරනවා. මට මේ රටේ බලය ලැබුනු දවසක බඩු මිලත් අඩු කරනවා. වංචා, දුෂණ සහ කොමිස් නැති කරලා බෙදාහැරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කළ පසු එය සිදු කරන්න පුළුවන්. මෙම අවස්ථාවට බේරුවල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඉෆ්ථිකාර් ජමිල් මහතා, බේරුවල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු සහ පළාත් පාලන නියෝජිතයින් ඇතුලු ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

හිමිට අභියෝගයක්

ගෞරවනීය මහ සංඝරත්නයට කතෝලික පූජකතුමන්ලාට හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දඹර අමිල හිමියන් ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් විවෘත ප්‍රබුද්ධ සංවාදයකට එන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අමිල හිමියන්ට ආරාධනා කළේය.කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී ගුණවර්ධන මහතා මෙම ආරාධනාව කළේය.“දඹර අමිල හිමි අපේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු වෙලා ඉගෙන ගෙන දැන් එම විශ්වවිද්‍යාලයේම උගන්වනවා. නමුත් උන්වහන්සේට තවම ආචාර්ය උපාධියක් නෑ. පසුගිය දිනවල උන්වහන්සේ අස්ගිරි හිමියන්ටත්, රදගුරුතුමාටත්, මහින්ද රාජපක්ෂ මහතාටත් බරපතළ චෝදනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ පිළිබඳ ප්‍රබුද්ධ සංවාදයක් ඇති කර ගන්න මම කැමැතියි. ඒ සංවාදයට එන්න කැමැති නම් දඹර අමිල හිමි ඊට පෙර පුංචි ප්‍රශ්න හතරකට උත්තර දෙන්න කියලා මම ඉල්ලනවා. එයින් පළමු ප්‍රශ්නය තමයි විශාල වශයෙන් මුදල් අය කර පුද්ගලයන් පිටරට යැවීම පිළිබඳ ජාවාරමක් සම්බන්ධ චෝදනාවකට සිරගත වූයේද නැතහොත් එම චෝදනාවන්ගෙන් නිදහස් වූයේද යන්න. දෙවැන්න තමයි සුනාමි ව්‍යසනය වෙනුවෙන් විශාල මුදලක් පරිත්‍යාග කළ විදේශිකයකුට මුදලට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි පිරිනමනවා යැයි කියා මුදලක් ලබා ගැනීමේ චෝදනාවෙන් නි‍ෙදාස් වී ඇත්ද යන වග. තෙවැනි ප්‍රශ්නය තමයි ලිට්රෝ ගෑස් සමාගමේ ගෑස් අලෙවි ප්‍රවර්ධන සඳහා විශාල දීමනාවක් ලබා ගත්තේද තවමත් එම දීමනාව ලබනවාද යන්නයි. සිවුවනුව අප අහන්නෙ පොල් අක්කර 100ක් හෝ රජයේ අනුග්‍රහයෙන් තමන්ට හෝ තම පවුලේ හිතවතුන්ට ඥාතීන්ට යම් වරප්‍රසාදයක් ලබා ගෙන ඇද්ද යන්නයි. මේ ප්‍රශ්න හතරට උත්තර දුන් පසු මම අමිල හිමියන් සමඟ ප්‍රබුද්ධ සංවාදයක සූදානමින් උන්වහන්සේට පහසු දින ස්ථාන වෙන් කර ගැනීමට අපේක්ෂා කරන බවද ගුණවර්ධන මහතා කීවේය. – ජයසූරිය උඩුකුඹුර

එහෙනම් මේ ඡායාරූපයේ ඉන්නේ කවුද?

“මට අක්කර තුන්දහසක් තිබෙන බවට චෝදනා කරනවා. මගේ පවුලටම තියෙන්නේ අක්කර පනස්පහයි. අක්කර තුන්දහසක් මට අයිති නම් ඒ ඉඩම් ආණ්ඩුවට ගන්න” යැයි හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීම සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් පැවසුවා.සහරාන් සමඟ එකට ඡායාරූපවලට පෙනී සිටි බවට පැවසෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සඳහන් කළ සාක්‍ෂිකරු තමා සහරාන් දුටුවේ මෙම සිද්ධියෙන් පසු මාධ්‍යයෙන් පළවූ ඡායාරූප මඟින් යැයිද පැවසුවා.තේරීම් කාරක සභාවේ සභාපති – “ඔබට විරුද්ධව විවිධ චෝදනා එල්ල වී තිබෙනවා. පාස්කු ඉරිදා සිදුවූ මේ ත්‍රස්තවාදී කටයුතුවලටත් ඔබේ සම්බන්ධතාවක් පැවැති බවට චෝදනා එල්ල වෙනවා. ඔබට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා.”සාක්‍ෂිකරු – “මට විරුද්ධව බරපතළ චෝදනා දහයක් යටතේ විපක්‍ෂයේ මන්ත්‍රිවරු පිරිසක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණා. මට විරුද්ධව මා ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ බවට චෝදනා එල්ල කර තිබුණා.”“මම සහරාන් කියන ත්‍රස්තවාදි නායකයා දැකලා නැහැ. ඔහුගේ ඡායාරූප මුල්වරට දැක්කේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් පස්සේ. මාධ්‍යවලින් පළ කළාට පස්සේ තමයි දැක්කේ.”

“පා;ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ අය ඉස්ලාම් නම තිබුණාට අපි ඔවුන් පිළිගන්නේ නැහැ. අපි මේ කාලකණ්ණි ත්‍රස්තවාදීන් සිදුකළ ප්‍රහාරය නිසා විනාශ වූ ජීවිත සහ තුවාලකරුවන් ගැනත් කනගාටු වෙනවා. ඒ ත්‍රස්තවාදීන්ගේ මළමිනී කාත්තන්කුඩි කනත්තේ වළ දමන්නටත් අපි ඉඩ දුන්නේ නැහැ.”රවි කරුණානායක – “අයි.එස්.අයි.එස්. ඔබ පිළිගන්නවද?”සාක්‍ෂිකරු – “නැහැ. මුස්ලිම් ආගමේ මිනිස්සු මරාදැමීම පිළිගන්නේ නැහැ.”රවි කරුණානායක – “සතොස ආයතනයට අයත් වාහන මේ ක්‍රියාවලට ලබාදුන්න බව කියනවා. ඇත්තද?”සාක්‍ෂිකරු – “සතොස වාහන ත්‍රස්තවාදී කටයුතුවලට ලබාදුන්නා කියලා විපක්‍ෂයේ මන්ත්‍රිවරු මට විරුද්ධව චෝදනා කළා. දින 52 ආණ්ඩුවට සම්බන්ධ වෙන්න කියලා මට කතා කළ අවස්ථාවේ මම ඒකට එකඟ වුණේ නැහැ. ඒ නිසා තමයි මට මේ අන්දමට බරපතළ චෝදනා එල්ල කළේ ඒ මන්ත්‍රිවරු දෙන්නෙක්. මේ සම්බන්ධයෙන් මට විරුද්ධව පොලිසියට පැමිණිලි කළේ නැහැ. මම ඒ අයට විරුද්ධව වැඩ බලන පොලිස්පතිතුමාට පැමිණිලි කළා.”රවි කරුණානායක – “මේ සිද්ධියට සම්බන්ධ බව කියන අලවුදීන් ඔබේ පක්‍ෂයේ භාණ්ඩාගාරික නේද?”සාක්‍ෂිකරු – “ඔහු මගේ පක්‍ෂය ආරම්භ කළ අවස්ථාවේ භාණ්ඩාගාරික තනතුරට පත් කරගත්තා. ව්‍යාපාරිකයකු වන ඔහු ව්‍යාපාරික කටයුතු නිසා ඒ තනතුර භාරගන්න බැහැ කීවා. පසුව උප භාණ්ඩාගාරික හැටියට පත් කළා.”නලින්ද හේරත් – “මේ සිද්ධියේදී බලපෑම් කරපු බවට ඔබට විරුද්ධව චෝදනා කෙරුණා.”සාක්‍ෂිකරු – “මුයිනුදීන් කියන පුද්ගලයා පොලිසියෙන් රැගෙන ගොස් තිබෙනවා. ඔහු ඉන්නේ කොහෙද කියලා සොයලා දෙන්න කියලා ඔහුගේ තාත්තා මගෙන් ඉල්ලුවා. මම පොලිසි කිහිපයකට කතා කළා. හමුදාපතිවරයාටත් කතා කළා. ඔහු ගැන අවුරුදු එකහමාරකින් අහන්න කිව්වා.”“තුන්පාරක් හමුදාපතිතුමාට කතා කළාට පස්සේ මුයිනුදීන් අපේ භාරයේ ඉන්න බව ඔහු මට දැනුම් දුන්නා.”

නලින්ද ජයතිස්ස – “මේ සම්බන්ධයෙන් ඔබ ආරක්‍ෂක ඇමැතිවරයාට කතා කළාද?”සාක්‍ෂිකරු – “ආරක්‍ෂක ඇමැතිට කතා කළේ නැහැ.”නලින්ද ජයතිස්ස – “ඔබ ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිවරයාට කතා කළාද?”සාක්‍ෂිකරු – “මම ඩී.අයි.ජී. වික්‍රමසිංහට කතා කළා. එතුමා කිව්වා හමුදාවෙන් අහන්න කියලා. මම කතා කළේ ඔහුගේ තාත්තට ඕන වෙලා තිබුණේ මයිනුදීන් ඉන්නේ කොතැනද? ඔහු ජීවත්ව ඉන්නවද කියලා දැනගන්න. ඔහු වැරැද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දිය යුතු බව ඔහු කීවා.”නලින්ද ජයතිස්ස – “ඔබ මාධ්‍යයට කියලා තිබුණා ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිටත් කතා කළා කියලා.”සාක්‍ෂිකරු – “ඔව් මම කතා කළා. එතුමා කිව්වා පොලිසියෙන් අහන්න ඕන කියලා.”සරත් ෆොන්සේකා – “මම හමුදාපතිතුමාගෙන් ඇහුවා මේ අවුරුදු එකහමාරකින් අහන්න කියලා කිව්වේ විහිළුවටද කියලා.”ආශු මාරසිංහ – “ඔබ හමුදාපතිවරයා හඳුනනවද?”සාක්‍ෂිකරු – “හමුදාපති වුණාට පස්සේ මම හඳුනා ගත්තා. ඊට කලින් ඔහු ගැන හැඳිනීමක් තිබුණේ නෑ.”ආශු මාරසිංහ – “මොහමඩ් ඉබ්‍රාහිම් ඔබ හඳුනනවද?”සාක්‍ෂිකරු – “ඔහු කොළඹ වෙළෙඳ සංගමයේ සභාපති. මම වෙළෙඳ ඇමැතිවරයා හැටියට ඉබ්‍රාහිම් මහතා මා හමුවී තිබෙනවා.”ආශු මාරසිංහ – “මේ ඡායාරූපයෙහි ඔබ ළඟින්ම ඉන්නවා. ඔහු ඔබේ අමාත්‍යාංශයේ තනතුරක් දරනවද?” (ඡායාරූපයක් පෙන්වයි)සාක්‍ෂිකරු – “ඔහුට සහ ඔහුගේ කිසි කෙනෙක්ට මගේ අමාත්‍යාංශයේ තනතුරු ලබාදීලා නැහැ. තනතුරු දරන්නේ නැහැ.”ආශු මාරසිංහ – “ඔහුගේ පුතා ඔබ හඳුනනවද?”සාක්‍ෂිකරු – “ඔහුගේ විවාහ මංගල්‍යය උත්සවයට ගියා.”

ආශූ මාරසිංහ – “ඔහු ඔබේ අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් දරනවද?”සාක්‍ෂිකරු – “නැහැ. කිසිම තනතුරක් දරන්නේ නැහැ.”ආශු මාරසිංහ – “ඉබ්‍රාහිම් ඉම්සාඩ් අහමඩ්; කොලෝනියල් ඉන්සයිඩ් ආයතනයේ සභාපතිට හිස් පතරොම් කොපු ලබාදෙන්න නිර්දේශ කළාද?”සාක්‍ෂිකරු – “මේ ඉල්ලීම් ලැබී තිබුණා. මේ අමුද්‍රව්‍ය ලබාදුන් ආකාරය සොයා බැලීමට මම කමිටුවක් පත් කළා. ඒ වාර්තාවෙන් සඳහන් වූ නිර්දේශවලට අනුවයි අමුද්‍රව්‍ය නිකුත් කළේ.”ආශු මාරසිංහ – “මේ ඉබ්‍රාහිම් පවුලේ අයට ගම්මිරිස්, කරුංකා ව්‍යාපාරවලට උදවු කළාද?”සාක්‍ෂිකරු – “එතුමා මගෙන් ඇවිල්ලා උදවු ඉල්ලලා නැහැ. මා හමුවන්නේ කලම්බු ට්‍රේඩර්ස් ඇසෝසියේෂන් එකේ නියෝජිතයන් සමඟ.”ආශු මාරසිංහ – “ඔබතුමා ටෙන්ඩර් බෝඩ්වලට බලපෑම් කළාද?”සාක්‍ෂිකරු – “මම බලපෑම් කරලත් නැහැ. කරන්නෙත් නැහැ.”නලින්ද ජයතිස්ස – “තුර්කි තානාපති කාර්යාලයෙන් කිව්වා තුර්කියෙන් පුහුණුව ලබපු 50 දෙනෙක් ලංකාවට ඇවිත් ඉන්නවා කියලා. ඒ බව මතකද?”සාක්‍ෂිකරු – “මම ඒ බව දැනගත්තේ මාධ්‍යයෙන්.”නලින්ද ජයතිස්ස – “මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබතුමා විසින් ආරක්‍ෂක අංශවලට කිසිම තොරතුරක් ලබාදීලා නැහැ. සමහර මවුලවිවරු මේ ගැන පොලිසියට තොරතුරු ලබාදුන්නා.”සාක්‍ෂිකරු – “මම මේ ත්‍රස්තවාදයට සම්බන්ධ වෙන්නේ නැහැ. සහරාන් කියන්නේ මවුලවි කෙනෙක් කියලා කියනවා. මම දේශපාලනඥයකු වශයෙන් ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ.”නලින්ද ජයතිස්ස – “මේ ප්‍රශ්න ඇති වෙන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ. සමහර මවුලවිවරු පොලිසියට තොරතුරු දෙනවා නම් ඇයි ඔබ ඒ ගැන නොදන්නේ?”සාක්‍ෂිකරු – “මේ සහරාන්ගේ වැඩපිළිවෙළ ගැන අපට දැනගන්න ලැබෙන්නේ මාධ්‍යයෙන්.”

ආශු මාරසිංහ – “ඔබතුමා කිව්වා සහරාන් හම්බ වෙලා නැහැ කියලා.”සාක්‍ෂිකරු – “ඔව්. හමුවෙලා නැහැ.”ආශු මාරසිංහ – “එහෙනම් මේ ඡායාරූපයේ ඉන්නේ කවුද? ඡායාරූපයේ ඔබත් සමඟ ඉන්නේ සහරාන් නෙවිද?” (ඡායාරූපයක් පෙන්වයි)සාක්‍ෂිකරු – “ඒ සහරාන් නෙවි. මම තිහාරියේ තිබුණු උත්සවයක ප්‍රධාන අමුත්තා හැටියට ගිය අවස්ථාවේ ගත් ඡායාරූපයක්. ඒකේ ඉන්නේ නිස්තාර් මවුලවිතුමා. ඒ ඡායාරූපයේ ඉන්නේ තමා මිස සහරාන් නෙවි කියලා නිස්තාර් මවුලවිතුමා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා.”රවි කරුණානායක – “දෙමටගොඩ සිද්ධියෙන් මැරුණේ ඔබේ අම්මගේ සහෝදරියගේ දුව කියනවා නේද?”සාක්‍ෂිකරු – “දෙමටගොඩ සිද්ධියෙන් මැරුණේ අලව්දීන්ගේ දුව නෙවි. ඒ මගේ අම්මගේ සහෝදරියගේ දුව කියලා කියන එක වැරැදියි. මගේ අම්මට සහෝදරියක් නැහැ. මේ හැමදෙයක්ම කියන්නේ විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රිවරු දෙන්නෙක්. දින 51 ආණ්ඩුවට සම්බන්ධ වෙන්න කියලා මට කතා කළා. මම ගියේ නැති නිසා මට විරුද්ධව නොයෙක් ප්‍රකාශ කරනවා.”රවි කරුණානායක – “මේ ත්‍රස්ත ක්‍රියා ඇති නොවෙන්න ඔබ ඔබේ දායකත්වය දෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද?”සාක්‍ෂිකරු – “මම අවුරුදු ගණනක් කඳවුරුවල දුක්වින්දා. ඒ නිසා මේ ත්‍රස්තවාදය ගැන මම දන්නවා. මේ සිද්ධිය වුණාට පස්සේ කාදිනල්තුමා කටයුතු කළ ආකාරය ගැන මම එතුමාට ප්‍රශංසා කරනවා. දේශපාලන පක්‍ෂ තමන්ට ඡන්ද ලබා ගන්න මේ සිද්ධිය උපයෝගි කරගන්නේ නැතිව මේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාම අත්අඩංගුවට අරගන්න ඕන බෞද්ධ ආගමික නායකයෝ, කතෝලික ආගමික නායකයෝ සියලු දෙනාම සම්බන්ධ කරගෙන. ඒ වගේම මුස්ලිම් ආගමික නායකයන් සම්බන්ධ වෙලා කටයුතු කරන්න ඕන. මේක දේශපාලන වාසි ගැනීමට උපයෝගි කරගන්න හොඳ නැහැ. මේක සම්පූර්ණයෙන්ම තුරන් කරන්න. අපි රට ගැන හිතලා සියලුදෙනාම එකතු වෙලා වැඩපිළිවෙළක් කරන්න ඕන.”රවි කරුණානායක – “මේ අයි.එස්.අයි.එස්. ප්‍රතික්‍ෂේප කරන්නේ නැත්තේ ඇයි?”සාක්‍ෂිකරු – “අපි මුස්ලිම් මැති ඇමැතිවරු අයි.එස්.අයි.එස්. ප්‍රතික්‍ෂේප කළා.”රවි කරුණානයක – “විල්පත්තුව සම්බන්ධයෙන් ගත්තම එහි ඉඩම් ඔබතුමාට තිබුණයි කියනවා. ඒක ඇත්තද?”

සාක්‍ෂිකරු – “ත්‍රස්තවාදයෙන් පස්සේ කමිටුවක් මඟින් තමයි පදිංචි කිරීම් කළේ. ගිය ආණ්ඩුව කාලේ තමයි කළේ. විල්පත්තු වනෝද්‍යානයේ එක පවුලකටවත් ඉඩම් දුන්නේ නැහැ. මන්නාරම දිස්ත්‍රික්කයෙන් තමයි ඉඩම් දුන්නේ. විල්පත්තුවේ එක පවුලක්වත් පදිංචි වෙලා නැහැ. මන්නාරමේ තමයි ඉඩම් දීලා තියෙන්නේ.”සරත් ෆොන්සේකා – “විල්පත්තුවෙන් එළියේ ඉඩම් තීරුවක් තියෙනවා. ඊට උඩින් ගමක් තිබිලා තියෙනවා. යුද්ධ කාලේ ඒ ගමේ මිනිස්සු අතහැරලා ගිහිල්ලා තියෙනවා. එළියේ තීරයේ හත්දෙනෙක් ගෙවල් හදලා තියෙනවා. ඒ අයට විරුද්ධ නඩු පවරලා තියෙනවා. ඒ ගෙවල්වලට මෙතුමා සම්බන්ධ නැහැ.”නලින්ද ජයතිස්ස – “කල්ලාරු රක්‍ෂිතයේ ගෙවල් 41ක් ලබාදීපු සිද්ධියක් විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා.”සාක්‍ෂිකරු – “මේ සම්බන්ධයෙන් වාර්තාවක් හදලා තියෙනවා. ඒ වාර්තාව ගැන පරීක්ෂණ පවත්වනවා.”නලින්ද ජයතිස්ස – “මන්නාරම ප්‍රදේශයේ ඔබතුමාට හෝ පවුලේ අයට අක්කර තුන්දහසක් තියෙනවා. ඒකට මොකද කියන්නේ?”සාක්‍ෂිකරු – “මට අක්කර තිස්දහසක් කියලා කියනවා. හත්දහසක් තියෙනවා කියලා කියනවා. මට අක්කර තිස්දහසක්, හත්දහසක් නැහැ.”ආශු මාරසිංහ – “එහෙනම් ඔබේ පවුලට අක්කර කීයක් තියෙනවද?”සාක්‍ෂිකරු – “මගේ පවුලට අක්කර 55ක් තියෙනවා. අක්කර තුන්දහසක් තියෙනවා නම් ඒවා ආණ්ඩුවට ගන්න කියලා කියනවා.”මගේ සහෝදරයා අත්අඩංගුවට ගත්ත බව ‘දිවයින’ පත්‍රයේ පළවී තිබුණා. මගේ සහෝදරයා අත්අඩංගුවට ගත්තේ නැහැ. මම උපන් මන්නාරමේ තාරාපුරම් ගමේ හමුදාව සහ පොලිසිය පරීක්‍ෂා කරලා තියෙනවා. මගේ සහෝදරයා සමඟ වාහනය පරීක්‍ෂා කරලා නිදහස් කරලා තියෙනවා . මේක වෙනස් ආකාරයට මාධ්‍යයේ පළ වුණා.”නලින්ද ජයතිස්ස – “ඩෙටනේටර් හයක් සමඟ රිෂාඩ්ගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් අත්අඩංගුවේ කියලා තියෙනවා.”සාක්‍ෂිකරු – “සනූස් කියලා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කර තිබෙනවා. ඔහු මගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් නෙවි.”ආශු මාරසිංහ – “ඔබේ සහෝදරයකුට අයත් නිවෙසක් වත්තල ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ට කුලියට දීලා කියලා තියෙනවා. ඒක ඇත්තද?”

සාක්‍ෂිකරු – “මගේ නංගිගේ ස්වාමිපුරුෂයාගේ පියාට අයිති ගෙයක් වත්තල තියෙනවා. ඒක කුලියට දීලා තියෙන්නේ ලීසිං එකකට. නංගිගේ ස්වාමිපුරුෂයාගේ සහෝදරයෙක් තමයි ඒක දීලා තියෙන්නේ. ඒක නංගී දීලත් නෑ. එයාගේ ස්වාමිපුරුෂයා දීලත් නෑ.”රාජිත සේනාරත්න – “රිෂාඩ් බදියුදීන් ඇමැතිතුමා, ඔබතුමා හිතන්නේ නැද්ද මේ මුස්ලිම් දේශපාලන නායකයන්ට විරුද්ධව මාධ්‍ය මඟින් අසත්‍ය චෝදනා නැඟීම නිසා මේ දෙවන වටයේ ගිනි තැබීම් සිදුවුණා කියලා.”සාක්‍ෂිකරු – “ගෙවල් 171ක් කඩලා විනාශ කරලා තියෙනවා. කඩසාප්පු ගිනි තියලා තියෙනවා. බොරු ප්‍රකාශ නිසා තමයි මේ සියලු සිද්ධීන් සිදුවෙලා තියෙන්නේ. පල්ලි 33ක් කඩලා තියෙනවා. 83 ජූලි වගේ සිද්ධියක් ඇති කිරීමේ අරමුණ වගේ මට පේනවා. මේ සිද්ධිවලට සම්බන්ධ වෙච්ච අයට උපරිම දඬුවම් දෙන්න.”නලින්ද ජයතිස්ස – “පසුගිය කාලේ සමහර තැන් අරාබිකරණය වෙලා තියෙනවා නේද? ඔය ජාසිම් සිටි වගේ.”සාක්‍ෂිකරු – “අරාබි රටවලින් ලැබුණු ස්ථානවල එහෙම තියෙනවා.”රාජිත සේනාරත්න – “ඔබ පිළිගන්නේ නැද්ද පාරවල් ආදිය අරාබි අකුරුවලින් නම් කිරීම සුදුසු නැහැ කියලා. අපි කාරක සභාව තීරණය කරලා තියෙනවා පාරවල්වල අරාබි අකුරුවලින් නාම පුවරු සවිකිරීම අත්හිටුවන්න.”සාක්‍ෂිකරු – “ඔව් මමත් පිළිගන්නවා. අරාබි අකුරුවලින් පාරවල්වල නාම පුවරු සවි කිරීම සුදුසු නැහැ. අපේ කුරානය ගැන අන්‍ය ආගමික නායකයන් විවිධ ප්‍රකාශ කරගෙන යනවා. අපේ රට ඇතුළේ සිංහල, මුස්ලිම් අය අතර භේද ඇති කිරීමට කටයුතු කළ යුතු නැහැ. අපේ මවුරට. ඒ රට ආරක්‍ෂා කරගන්න ඕන. සෞදි අරාබියේ නීතිය මෙහෙට ගේන්න අපට අවශ්‍ය නැහැ. අපේ රටේ නීතියට අනුව අපි ක්‍රියා කරන්න ඕන. අපි රටේ නීතියට ගරු කරනවා. වැරැදි මතයක් සිංහල සමාජය අතරට ගෙන යන්න එපා.”සරත් ෆොන්සේකා – “පිත්තල කම්හලෙන් අත්අඩංගුවට ගත් පිරිස අතුරින් කිහිපදෙනෙක් නිදහස් කළේ ඔබතුමාගේ සම්බන්ධතාවක් නිසා බවට විශ්වාසභංග යෝජනාවේ සඳහන් වෙනවා. ඒ ගැන මොකද කියන්නේ?”

සාක්‍ෂිකරු – “මගේ එහෙම සම්බන්ධයක් නැහැ.”සරත් ෆොන්සේකා – “ඔබතුමා ආශ්‍රය කරන ඔබේ උපදේශක මවුලවි කෙනෙක් මේකට සම්බන්ධ බවට විශ්වාසභංග යෝජනාවේ සඳහන් වෙනවා.”සාක්‍ෂිකරු – “කිසිම මවුලවිවරයෙක් මගේ උපදේශකවරයකු වශයෙන් නැහැ. ඔය කියන මවුලවිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.”සරත් ෆොන්සේකා – “ඔබ ඇමැති ධුරයේ සිටීම ත්‍රස්තවාදී විමර්ශන කටයුතුවලට බාධාවක් බවත් විශ්වාසභංග යෝජනාවේ සඳහන් වෙනවා.”සාක්‍ෂිකරු – “මම ඇමැතිකමෙන් ඉල්ලා අස්වුණා. දැන් විමර්ශන කටයුතු කරන්න පුළුවන්.”ජේ.ටී. ද සිල්වා, රුචිර දිලාන් මධුශංඛ

දන්දෙන පිංකම

ආරෝග්‍යා පරමා ලාභා යන්න බුදු වදනේ එන නිරෝගීකම පිළිබඳ ලබා දෙන කදිම විග්‍රහයකි. රජෙකු වුවත් ලෙඩකු වෙතොත් පලක් නැතැයි ජන වහරේ කියැවේ. නීරෝගීව ජීවත්වීමට අපි සැවොම කැමැත්තෙමු. නමුත් කවර හෝ හේතුවක් නිසාවත් රෝගීවීම යනු කායිකව මෙන්ම මානසික සහනයට ද බරපතළ බලපෑමකි.පිළිකාව වැනි රෝගයක් වැලඳුණු අයෙක් කෙතරම් චිත්ත පීඩාවට පත්විය හැකිද? මරණය සමඟ සෘජුවම ගැටෙන්නට ඔවුන්ට සිදුවීම මෙහි ඇති එක්තරා දුක්ඛිත තත්ත්වයකි. එබඳු රෝගීන්ට සුවසෙත සැලසීම අප කා අතින් හෝ සිදුවිය යුත්තක්ද වේ.එවැනි සද්ක්‍රියාවක් කිරීමට අදහසක් පහළ වූ කතානායක කරු ජයසූරිය මැතිතුමාගේ දියණිය වන වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය මේ වන විටත් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඇයගේ නැගණිය වූ ඉන්දිරා ජයසූරිය පිළිකා රෝගයෙන් පීඩා විඳ මරණයට පත්වූවාය. ඇය ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙද්දී ඇගේ හිසකෙස් ඇයට අහිමි වූයේ ද බලා සිටිද්දීමය. ඒ කාලයේ ඇයට භාවිත කරන්නට විග් එකක් සැදූ නමුත් ඇයට එය පළඳින්නට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ ඇයට ජීවිතයෙන් සමුගන්නට සිදු වූ නිසාය.නමුත් එම ‘විග්’ එක ලංකාවට ගෙනැවිත් හිසකෙස් නැතිව පිළිකා රෝහලේ අඬ අඬා සිටි දරුවකුට පරිත්‍යාග කර තිබෙන්නේ ද ඒ දරුවාගේ හිසට සහනයක් ලබා දෙමිනි. ඒත් සමඟම පිළිකා රෝගීන්ට විග් ලබාදීමේ සද්ක්‍රියාවක් සම්බන්ධ අදහසක් පහළ වූ බවද වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය පවසන්නීය. ‘‘ඉන්දිරාගේ සෙනෙහ – Indira’s Love’’ යනුවෙන් ආරම්භ වුණු මේ වැඩකටයුත්ත පිළිබඳ වැඩි විස්තර ලංකා ජයසූරිය මහත්මිය ‘‘ඉරිද‌ා ලංකාදීප’’යට පැවසුවේ මෙලෙසිනි.මොකද්ද මේ වැඩකටයුත්ත? 2016 නොවැම්බර් මාසෙ කතානායකතුමාගෙ පොඩි දියණිය, මගේ නැගණිය අවුරුදු 40දී පිළිකා රෝගය වැලඳී මිය ගියා. ඒ මියයෑමත් සමඟ අපි වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහත්මයා සමඟ එකතුවෙලා ‘‘පිළිකා සරණ භාරය’’ නමින් වැඩසටහනක් ආරම්භ කළා. වෛද්‍ය සමාධි රාජපක්‍ෂ අවුරුදු පහළොවකට අධික කාලයක් තිස්සේ ”Cancer Care Association”හි ලොකු වැඩකොටසක් කරපු කෙනෙක්. ඒ හරහා තමයි මේ සංවිධානය පිහිටෙව්වේ.

පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹෙන් කොටසක් දන්දීමේ ව්‍යාපෘතිය මොකද්ද? අපි ලංකාවේ පිළිකා තත්ත්වය ගැන විශ්‍්​ෙල්ෂණයක් කළාම දැනගන්න ලැබුණා ගොඩක් දුරට පිළිකා ධුරක ඖෂධයක් විද්දම පළමුවෙනි මාත්‍රාවෙන්ම කෙස් කළඹ අහිමිවෙන බව, සාමාන්‍යයෙන් කාන්තාවකට වරලස, කොණ්‍ඩය කියන දේ ඉතාමත් වැදගත් පංච කල්‍යාණයේ වටිනා අංගයක්නෙ. කාන්තාවන් කොහොමත් බාහිර පෙනුම ගැන ගොඩක් උනන්දුයි. රැකියාවල නිරතවෙන අය කොහොමත් ඒ ගැන ගොඩක් හිතනවා.ලංකාවේ පිළිකා ​අතරින් කාන්තාවන්ට වැඩිපුරම තියෙන්නෙ. පියයුරු පිළිකාව. මගෙ නැගණියට තිබුණෙත් පියයුරු පිළිකාවක්. ඉතින් ඒකත් එක්කම අපිට හැඟුණා පිළිකා රෝගී කාන්තාවන් වෙනුවෙන් විග් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළොත් හොඳයි කියලා. හිසකෙස් නැතිවීමෙන් මානසිකව ඇද වැටෙන තත්ත්වයකුත් තියෙනවනෙ. ඉතින් මීට පෙර මෙවැනි වැඩපිළිවෙළක් තිබිලත් නැති නිසා තමයි මේ වැඩකටයුත්ත ක්‍රියාත්මක කළේ.මේ අලුත්ම වැඩකටයුත්තක් මුල්වරට ලංකාවේ සිදුකරන? ඔව්, මේ ලංකාවේ මුල්වරට සිදු කරන දෙයක්. ලෝකෙ බැලුවම මෙවැනි වැඩසටහන් තියෙනවා. අපි දැනගත්තා ලංකාවේ කාන්තාවන් වුණත් ගොඩක් දුරට ඒගොල්ලන්ගෙ කෙස් කළඹ කපලා ඒවා ඇමරිකාව හෝ එංගලන්තය වැනි රටවල්වලට යවනවා. පිළිකා රෝගීන්ට විග්ස් හදන්න. නමුත් ඒවා පිළිකා රෝගීන්ට ලබාදෙන්නෙ යම්කිසි සහනදායී මිලකට. නොමිලේ විග්ස් ලබාදෙන වැඩසටහනක් ලෝකෙ කොහෙවත් නෑ. අපි මේ දේ කරන්නෙ නොමිලේ. නමුත් විග් එකක් කියන්නෙ සෑහෙන්න වටිනා දෙයක්.

විග් එකක වටිනාකම කීයද? එක විග් එකක් හදන්න ලක්‍ෂ දෙකක් පමණ වෙනවා. නමුත් අපේ පිළිකා සරණ භාරයට ස්වභාවික හිසකෙස් සැපයීමෙන් පසුව රුපියල් විසි පන්දහසක සහන මිලකට සකසන ලද කෙස් කළඹක් පිළිකා සරණ භාරය වෙත සපයන්නට ලලිත් ධර්මවර්ධන මහතා එකඟ වුණා. රමණි ප්‍රනාන්දු සැලෝන් ආයතනය ඒකාබද්ධව තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ.ඇත්තටම ස්වභාවික කොණ්‍ඩ කියන්නෙ ඉතාමත් මිල අධික දෙයක්. හිසකෙස් මිලිග්‍රෑම් 500ක මිල රුපියල් (70,000) හැත්තෑදහසක් පමණ වෙනවා. ඉතින් මේ වැඩසටහන ආරම්භ කළාට පසුව සෑහෙන පිරිසක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. තමන්ගෙ හිසකෙස් දන් දෙන්න.ඒ සඳහා රමණි ප්‍රනාන්දු මහත්මිය ඇයගේ ආයතනය හරහා හිසකෙස් කැපීම සිදු කරනවා. ඒ සියල්ලම ඇය නොමිලේ තමයි සිදු කරන්නෙ. අද වෙද්දී එතුමියගේ සියලු ආයතන (Ramani Fernando Salon) වල පිළිකා රෝගීන් සඳහා හිසකෙස් දන්දෙන්නන්ගේ කෙස් භාරගැනීම සිදු කරනවා.ඒ වගේම මේ ක්‍රියාවේදී ලලිත් ධර්මවර්ධන මහතා මේ ලබාදෙන හිසකෙස්වලින් විග්ස් හදන්නෙ. ලංකාවෙ මිනිස් හිසකෙස්වලින් විග් හදන එකම පුද්ගලයා ඔහු තමයි. ඉතින් මේ විග් එකක් හදන්න සාමාන්‍යයෙන් දවස් 14, 15ක් වගේ වැය වෙනවා. නමුත් ඔහු ඉතාම නිහතමානීව මේ ක්‍රියාවලියට සම්බන්ධ වුණා. මේ වැඩසටහන අපි ආරම්භ කළේ‍ ඉකුත් 20 වැනි දා මේ වෙද්දී අපි විග්ස් 3ක් ලබාදීලා තියෙනවා. මේ වෙද්දී ඉල්ලීම් රාශියක් ද අපිට ලැබිලා තියෙනවා.

මේ තත්ත්වය සිදු කරනු ලබන්නෙ මේ රෝගීන්ගෙ මානසික සුවය සඳහානෙ. ඉතින් මේ විග්ස් ලබාදුන් රෝගීන් මොනවගේ ප්‍රතිචාරයක් ද දැක්වූවේ? ඇත්තටම ගොඩක්ම සතුටු වුණා. අපිට හිතන්නත් බැරි තරමේ ප්‍රශ්නවලට ඔවුන් මුහුණදෙනවා තමන්ගෙ හිසකෙස් නැතිවුණාම මේ හේතුව නිසා ඔවුන් මානසික වශයෙන් පීඩාවට පත්වෙනවා. ගොඩක් අය විවෘතව කියන්න කැමතිත් නෑ. තමන්ට පිළිකාවක් කියලා. ඉතින් අපිට හරිම සතුටුයි. මේ වගේ උදව් කරන්නට ලැබීම ගැන. අපිට පෞද්ගලිකව ඒ අයගෙ විස්තර කියන්න අමාරුයි. මොකද ඒකට එයාලා කැමැති නෑ.ඉතාමත් කැමැත්තෙන් ඒ අය විග්ස් අරගෙන හිසකෙස් දන් දුන්න හැමදෙනාටමත් ගොඩක් කෘතඥපූර්වකව තමයි ඒවා ලබා ගත්තෙ. ඉතින් මේ වගේ උතුම් සද්ක්‍රියාවකට සම්බන්ධ වෙන්න ලැබීමත් සතුටට කාරණාවක්. මේ සඳහා හිසකෙස් දන්දෙන්න කොයිතරම් පිරිසක් දායක වුණාද? මේ දිගටම ව්‍යාප්තවන වැඩසටහනක්. අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා රමණි ප්‍රනාන්දු මහත්මිය සහ ලලිත් ධර්මවර්ධන මහතා සමග. අවුරුද්දක කාලයක්. නමුත් අපි මේ දේ දිගටම කරගෙන යනවා.මේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට පෙර 150 වගේ පිරිසක් දායක වෙලා හිටියා. තවමත් දිගටම අපිට ඇමතුම් එනවා. හිසකෙස් දන්දීමට. ඉතින් අපි කියන්නෙ තමන්ගෙ හිසකෙස් දන්දෙන්ට කැමැතිනම් ළඟම ඇති ‘‘රමණි ප්‍රනාන්දු සැලෝන්’’ ආයතනය සමඟ සම්බන්ධ වෙලා ඒ පිළිබඳ වැඩි විස්තර කතා කරන්න පුළුවන්. ඒ වගේම 0112363211 දුරකථන අංකයට ඇමතුමක් ලබාදීමෙන් ද විස්තර ලබාගත හැකියි.හිසකෙස් දන්දීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ගැනත් කතා කළොත්? කොණ්ඩයක් සෑදීමට අවම වශයෙන් පෝනිටේල් 8-15 පමණ අවශ්‍යයි. හිසකෙස් අවම වශයෙන් අඟල් 8ක් වත් දිග විය යුතුයි. පරිත්‍යාග කළ හැකි හිසකෙස්වල උපරිම දිග පිළිබඳ සීමාවක් නැහැ.පරිත්‍යාග කිරීමට පෙර හිසකෙස් තෙල්, හෙයා ස්ප්‍රේ, මූස් හෝ වෙනත් ආලේපනවලින් තොරව පිරිසිදුව තිබිය යුතුයි. ඒ නිසා හිසකෙස් කැපීමට දිනකට පෙර හිසකෙස් ෂැම්පු හා කන්ඩිෂනර් යොදා සෝදා පිරිසිදු කර කිසිම හැඩගැන්වීමකින් හෝ අමතර නිෂ්‍පාදන ගැල්වීමකින් තොරව තබාගත යුතුයි.පරිත්‍යාග කිරීම සඳහා කැපීමට පෙර හිසකෙස් වියළි තත්ත්වයේ තිබිය යුතුයි. හිසකෙස් පෝනිටේලයක් ලෙස හෝ ගොතා තිබිය යුතුයි. වර්ණ ගන්වන ලද හෝ ෆර්ම් කරන හොඳ හිසකෙස් ද පිළිගැනේ. ලේයර් කරන ලද කෙටිම කොටසේ දිග අඟල් 08ක් වේනම් ලේයර් කරන ලද හිසකෙස් ද පරිත්‍යාග කළ හැකියි. කැරලි ගැසුණු කෙස් අවම අඟල් 8ක් වන ලෙස හා කෙලින් සිටින ලෙස සකස් කළ හැකියි.මෙලෙස හිසකෙස් දන්දෙන පිරිසට අපි ස්තූතිය පුද කරලා සහතික පතක් ලබා දෙනවා. දැනටමත් 1000 ප්‍රමාණයේ සහතිකපත් මුද්‍රණය කරලා තියෙනවා. දෙවැනි අදියරේ 5000 ප්‍රමාණයක සහතිකපත් මුද්‍රණය කරන්න දීලයි තියෙන්නෙ. එතරම් දුරකට ඉල්ලීම් තියෙනවා. ඒ වගේම තමයි අපේ තවත් වැඩසටහනක් තියෙනවා. හිසකෙස් දන්දෙන්නට අවස්ථාවක් නැති පිරිසට විග්ස් ලබාදීමට යම්කිසි දායකත්වයක් ලබාදීම සඳහා. ඒවත් ‘රමණි ප්‍රනාන්දු සැලෝන්’ ආයතනයේ සිදු කෙරෙනවා.ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෑ මේ සෑම කෙස්වලටම පිළිකා සරණ භාරයෙන් අපි වගකීමක් දරනවා. මොකද අපි ගන්න කෙස් සියල්ල වාර්තාගත කරලා ඒවයෙ බර මැනලා ඒ සියල්ල ලබාදෙන්නෙ ලලිත් ධර්මවර්ධන මහත්මයට, එතුමාත් මේ හැමදේම පාවිච්චි කරන්නෙ ලොකු වගකීමකින්. මොකද පිළිකා සරණ භාරය වශයෙන් අපි වගකීමක් දරනවා. මේ ලබාදෙන හිසකෙස්වලින් පිළිකා රෝගීන්ට විග් ලබාදෙන බවට අපි සාක්ෂි දරනවා. ඒක ලොකු වැඩ පිළිවෙළක්.

මේ පදනමේ ඉදිරි වැඩ කටයුතු ගැනත් කියමුද? පිළිකා සරණ භාරයේ අපේ වැඩසටහන් තුනක් ක්‍රියාත්මක වෙනවා. මේ විග්ස් දෙන වැඩසටහන ‘‘ඉන්දිරාගේ සෙනෙහස’’ කියලා ක්‍රියාත්මක වෙන්නෙ. ඊට අමතරව ඉන්දිරා ජයසූරිය උපකාරක ඇමතුම. එය ආරම්භ කළේ දෙසැම්බර් මාසයේදී. පිළිකාව සම්බන්ධ ඕනෑම ගැටලුවක් පිළිබඳ එහිදී කතා කරනවා. 365 දවසෙම එය විවෘතව පවතිනවා. ඒ වගේම අපිට පෞද්ගලිකව ලැබෙන ඉල්ලීම් තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ඉල්ලීම්, බෙහෙත් ආදිය ලබාගැනීම සඳහා ඉල්ලීම්.එවැනි දේවල් සිදුවෙනවා. ඉතින් ‘‘ඉන්දිරා ජයසූරිය ළමා සත්කාරක සේවය’’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ‘‘අපේක්ෂා’’ රෝහලේ ළමා වාට්ටු සමඟ. එහිදී මාසිකව ළමයින් සමඟ වැඩසටහනක් පවා සිදු කරනවා. ‘‘ලස්සන ෆ්ලෝරා’’ ආයතනයත් සමඟ ඒකාබද්ධව ඒ හැමදේටම ස්වෙච්ඡාවෙන් අපිට උදව් කරන කණ්ඩායම් ඉන්නවා.ඒ හැමදේමත් එක්ක පියයුරු පිළිකා හඳුනාගැනීම සඳහා පිළිකා පරීක්ෂණ යන්ත්‍ර ලබාදෙන වැඩසටහනකුත් ක්‍රියාත්මක කරලා තියෙනවා. මොකද ”Mobile” ”Mammography” මැෂින් රජයේ රෝහල්වල තියෙන්නෙත් එකොළහයි. ඉතින් ලංකාව වටේම ඒ වැඩපිළිවෙළත් ආරම්භ කරලා පියයුරු පිළිකා අවදානම් තියෙනවනම් ඒ හැසිරවීම තමයි තුන්වෙනි වැඩපිළිවෙළ.

පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹෙන් කොටසක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ‘‘ඉරිද‌ා ලංකාදීප’’යට අදහස් දැක් වූ පිළිකා සංගමයේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා. තවමත් අපේ රටේ පමණක් නෙමෙයි ලෝකයේ කොයිතරම් වෛද්‍ය විද්‍යාව දියුණු වුණත් යම්කිසි කෙනෙකුට රෝග විනිශ්චයට අනුව පිළිකාවක් වැලඳී ඇති බව පැවසුවාම මුළු ජිවිතයම කඩා වැටෙනවා. නමුත් අමතක කරන්න එපා සියලු දෙනාගෙම ශරීරයේ මේ පිළිකා සෛල තිබෙන බව.අපි කවුරුත්ම මේ රෝගයෙන් මිදුණු පිරිසක් නෙමෙයි. ඒ නිසා අපිට පිළිකාවක් වැල​ෙඳන්නෙ නැහැ කියලා ස්ථිර නිගමනයකට ඒම අපහසුයි. සමහර රෝගී කාන්තාවන් ඉන්නවා තමන්ගෙ කොණ්‍ඩෙ රැකගන්න රෝගයට ලබාදෙන බෙහෙත් පවා ප්‍රතික්ෂේප කරන. මොකද කාන්තාවන් විශේෂයෙන්ම බාහිර පෙනුම ගැන ගොඩක් උනන්දු වෙනවනෙ. ඒ වගේම බාහිර පෙනුම නැති වුණාම සමාජයට මුහුණ දෙන්නට බියවීම, යම් යම් වෘත්තිමය කටයුතු කරන සමාජයත් සමඟ ගැටෙන්න බොහෝ රෝගීන් බයවෙනවා. වගේම මුළුගැන්වෙන ස්වභාවයක් තියෙනවා.නමුත් ආත්ම ශක්තියකින් යුක්තව නැවත සමාජයට මුහුණ දෙන්න පුළුවන්කමක් වගේම තමන් කරගෙන ආ වෘත්තීමය කටයුතු හා වෙනත් දෑ බියෙන් සැකෙන් තොරව ඉදිරියටත් කරගෙන යෑමට හැකිවීම මේ විග් ලබාදීම තුළින් සිදුවෙනවා.

රටම කම්පා කරමින් තිස්සමහාරාමයෙන් ඇසුනු සංවේදී කතාව

තිස්සමහාරාම විජයපුර ප්‍රදේශයේ පදිංචි මාස 11 ක් වයසැති බිළිඳෙකු කුසට අහරක් නොමැති වීම නිසා මිය ගිය සංවේදී පුවතක් වාර්තා වනවා. දරුවන් සිවුදෙනෙකුගෙන් යුත් එම පවුලේ සිවුවන දරුවා ලෙස උපත ලැබූ මලිත් වීරංග නමැති මෙම බිළිඳා මන්දපෝෂණය නිසා මිය ගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදීද හෙළිවී තිබෙනවා.මෙම මරණය සම්බන්ධයෙන් දරුවාගේ මව මාධ්‍ය වෙත අදහස් දක්මින් කියා සිටියේ ‘‘රෑ එකකතුත් ගානකට තමයි දරුවට අමාරු වුනේ. නැතිවෙලා තමයි දරුවව අරන් ගියේ. ඩොක්ටලා කිවුවෙ දරුවට මන්ද පෝෂණේ කියලා.මහත්තයට ඒ දවස් වල මාළු බිස්නස් එක හින්දා ටිකක් අමාරුකම් තිබුනා. මුලදි දරුවගෙ බර හොඳ වුනා පස්සෙ දරුවගෙ බරත් අඩුවුනා‘‘ යනුවෙන්.එසේම මෙම පවුලේ ඉතිරි දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු පාසල් අධ්‍යාපනය ලබන අතර අනෙක් දරුවා පෙර පාසල් වියේ පසුවනවා. කෙසේ නමුත් දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවිත්වන ඔවුන්ට සමෘද්ධි සහනාධාරය හෝ රජයේ වෙනත් කිසිඳු සහනාධාරයක් ලැබී නොමැති බවයි දරුවන්ගේ මව ප්‍රකාශ කරන්නේ.ඒ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී දරුවන්ගේ මව කියා සිටියේ ‘‘සමෘද්ධියනම් තිබුනෙ නැහැ. ග්‍රාම සේවක සර් කිවුවා කොහොම හරි සමෘද්ධිය හදලා දෙනවයි කියලා‘‘ යනුවෙන්මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර ප්‍රකාශ කළේ මෙම බිළිඳාගේ මරණයට ප්‍රදේශය බාර සමෘද්ධි සංවර්ධන නිළධාරියා, ග්‍රාම සේවක,ආර්ථික සංවර්ධන නිළධාරියා ඇතුළු සිය පාලනයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ සියලු දෙනා වගකිව යුතු බවයි.