හැලීමේ හේතුව හෙළිවේ

බංග්ලාදේශයට එරෙහිව මේ මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා නම් කළ 24 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් ඉවත්කර තිබේ. ලෝක කුසලාන තරගාවලියේ ස්ථානය අහිමිවීම පිළිබඳව දැඩි කථා බහට ලක්වූ පිට දඟ පන්දු යවන අකිල ධනංජය මෙම සංචිතයට ඇතුළත්ව සිටියි. කෙසේ වෙතත් හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් මෙම සංචිතයට ඇතුළත්ව නැත.චන්දිමාල් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ඉන්දිය සංචාරයෙන් ඉවත්ව සිටීම නිසා මෙම සංචිතයට ඇතුළත් කර නොමැති බව දැනගන්නට තිබේ. ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ‘ඒ’ සහ නැඟීඑන කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වූ ක්‍රීඩකයෝ රැසක් මෙම සංචිතයට ඇතුළත්ව සිටිති. නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ ලක්‍ෂාන් සඳකැන් නැවත එක්දින සංචිතයට කැඳවා තිබේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය මේ මස 26 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා එක්දින සංචිතය:දිමුත් කරුණාරත්න (නායක), අවිශ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, අමිල අපෝන්සු, ළහිරු මධුසංඛ, ළහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක

බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ.. තරමක් පුදුමය දනවන සුළුපුවතක් වුවත් බෙන් ස්ටොක්ස් නවසීලන්ත ජාතිකයෙකි.ඔහු උප ලැබුවේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේය.පසුව ඔහුගේ පවුලේ උදවියද සමගින් එංගලන්තයට පැමිණ වී තිබේ.ඉකුත් දා පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය අහිමි කරමින් කුසලානය එංගලන්තයට දිනා දීමට බෙන් ස්ටොක් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේය.නවසීලන්තයේ උපත ලැබූ වයස අවුරුදු 15ට වැඩි ඕනෑම අයෙක්, වසරේ නවසීලන්ත ජාතිකයාට හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා නිර්දේශ වෙයි.මීට අමතරව නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබීම විශේෂත්වයකි.

බංග්ලාදේශ කණ්ඩායම ලංකාවට ගහන හැටි ප්‍රසිද්ධියේ කියයි

මේ මස 26 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අභියෝගයක් ලබා දීමට හැකි බව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොසදික් හුසේන් පවසා ඇත.ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර මේ දක්වා පවත්වා තිබෙන එකඳු මට්ටමේ හෝ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කර නොමැති නමුත් මේ වතාවේ දී ඔවුන්ට එය සිදු කළ හැකි බවට ඔවුන් දැඩි විශ්වාසයකින් පසුවෙයි.“මම හිතන්නේ අපිට මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව පරාජය කරන්න අපිට පුළුවන් කියලයි. මොකද අපේ කණ්ඩායම පහුගිය කාලය පුරාවටම පිතිකරණයෙන්, පන්දු යැවීමෙන් ඉතාමත් හොඳ දස්කම් පෙන්නුවා. ඒක නිසා අපිට මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ අභියෝගයක් දෙන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තිබෙනවා.” යැයි 23 හැවිරිදි මොසදික් හුසේන් පවසා ඇත.ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල මෙම කණ්ඩායම් දෙක මේ දක්වා එක්දින ක්‍රිකට් තරගාවලි 7කට මුහුණ දී තිබෙන අතර ඉන් තරගාවලි 6කම ජය තහවුරු කරගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. කෙසේ නමුත් බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පමණක් සඳහා තරග වැදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවසන් අවස්ථාවේ දී එම තරගාවලිය තරග 1-1ක් ලෙස සම වීමෙන් අවසන් වූයේය. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් පිතිකරණයෙන් ලකුණු 606ක් හා පන්දු යැවීමෙන් කඩුලු 11ක් දවාගෙන කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් විය. එහි දී ඔහු 86.57ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන පිතිකරණයේ නිරත වූ අතර ඒ සඳහා ශතක දෙකක් හා අර්ධ ශතක 5ක් අන්තර්ගත වන ලදි. නමුත් ලෝක කුසලානයට පසුව ශකිබ් අල් හසන් තමා හට යම් විවේකයක් අවශ්‍ය බව පුද්ගලිකව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ට දැනුම් දී තිබූ නිසාවෙන් බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ඔහුව විවේක ගැන්වීමට තීරණය කර ඇත.

එසේම බංග්ලාදේශ ලෝක කුසලාන සංචිතයේ සිටි තවත් දක්ෂ මැදපෙළ පිතිකරුවෙක් හා කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් මේ මස 28 වැනිදා යුග දිවියට එළඹෙන නිසාවෙන් ඔහු ද මේ සංචිතය සඳහා නම් කර නොමැත.“මහමදුල්ලා ලෝක කුසලානයේ දී පන්දු යැවුවේ නැති එක (උරහිසේ ආබාධය නිසා) අපිට ලොකු පාඩුවක් වුනා. ඒක නිසා මට හැම තරගයක දී ම පන්දු යවන්නත් සිදු වුනා. වෙනදට මහමදුල්ලා පන්දුවාර 10ක් වගේ හැම තරගයේම දානවා. ඒ වගේ තරගවල දී මම යවන්නේ පන්දුවාර 5-6ක් වගේ.මම පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. හැබැයි මට දැන් තේරුණා පන්දු යවන්නෙක් ලෙසත් මට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. ඒක මගේ තුන් ඉරියව් ක්‍රිකට් තරග රටාවටත් ලොකු සවියක්. ශකිබ් ශ්‍රී ලංකා තරග සංචාරයට නැති නිසා ඒ තරගාවලියේ දීත් පන්දු යවන්නෙක් ලෙසත් මගෙන් ලොකු දෙයක් කණ්ඩායම අපේක්ෂා කරනවා. කොහොම වුනත් මගේ කණ්ඩායම මගෙන් ඉල්ලන ඕනම දෙයක් තරගය තුල දී මම කරන්න කැමැත්තෙන් ඉන්නවා. මම දැනටමත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් හදලා තියෙන්නේ.” යැයි එම හමුවේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හුසේන් පවසා තිබේ.
අංක 7 ස්ථානයේ පිතිකරණයේ නිරත වන හුසේන් සිය පිතිකරණ ස්ථානය පිළිබඳව දැරුවේ මෙවන් අදහසක්,“මම හිතන විදිහට එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දීත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩා කළා වගේ අංක 7 ස්ථානයේ ක්‍රීඩා කරන්න ලොකු ඉඩක් තිබෙනවා. මොකද අපේ කණ්ඩායමේ දැනට තිබෙන සංයුතිය කඩන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. එය තමයි මට පිතිකරණයේ නිරත වෙන්න තියෙන හොඳම තැන කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ වගේ තැනක පිතිකරණයේ නිරත වෙනකොට අඩු පන්දු ප්‍රමාණයක් තුල වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් හැකියාව ඒ පිතිකරුවාට තියෙන්න ඕනේ. ඒ වගේම අසීරු අවස්ථාවන් වලදී ඉනිම ගොඩනැංවීමේ හැකියාවත් තියෙන්න ඕනේ. ඒ දේවල් සලකලා බලලා මගේ අඩුපාඩු හදාගෙන කණ්ඩායමේ ප්‍රගතියට ලොකු දායකත්වයක් දක්වන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යැයි හුසේන් අවසන් ලෙස පවසන ලදි.

එක්දින තරග 3කින් සමන්විත මෙම තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබන 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර ඔවුන් දින 10ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. ලබන මස 26, 28 සහ 31 යන දිනයන්හි පැවැත්වීමට නියමිත මෙම තරග තුනම දිවා/රාත්‍රි තරග වශයෙන් පැවැත්වේ.තරග කාලසටහන – ජූලි 23 – පුහුණු එක්දින ක්‍රිකට් තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී,ජූලි 26 – පළමු එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී,ජූලි 28 – දෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී,ජූලි 31 – තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී

පොතට එකතුවුණු අලුත්ම

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සැසිවාරය ඊයේ ලන්ඩන් නුවරදී නිමා වුනා.එහිදී ක්‍රිකට් කමිටුව විසින් ලබාගත් නීති සංශෝධන කිහිපයකයට අනුමැතිය හිමිවුණා.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශාශාන්ක් මනොහාර් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසිවාරයට ටෙස්ට් තත්වය හිමි සියලු රටවල ක්‍රිකට් සභාපතිවරු එක්ව සිටියා.එහිදී ක්‍රිකට් නීති කිහිපයක් වෙනස් කිරීම සඳහා අනුමැති හිමිවූ අතර තරඟයක් අතරතුර දරුණු ආබාධයකට ලක්වන ක්‍රීඩකයෙක් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට ගෙනා යෝජනාව ක්‍රිකට් ක්‍රීඩාවට නව අත්දැකීමක් වනු ඇති.මේ අනුව වෛද්‍යවරුන්ගේ කමිටුවෙන් සහ තරඟ තීරකවරයාගේ අනුමැතිය ඇතිව ආබාධයකට ලක්වන ක්‍රීඩකයෙක් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමට ආදේශ කිරීමට හැකිවන අතර මෙම සංශෝධිත නීතිය පළමුව පළමු පෙළ ක්‍රිකට් තරඟ සඳහා පමණක් භාවිත කිරීමට තීරණය කළා.ඒ අනුව ආදේශිත නව ක්‍රීඩකයාට පිතිකරණයේ අවස්ථාව මෙන්ම පන්දු යැවීමේ අවස්තාවද හිමිවණු ඇති.ලබන මස පළමුවනදා සිට පළමුපෙළ තරඟ සඳහා මෙලෙස ක්‍රීඩකයන් ආදේශ කිරීමට හැකිවනු ඇති.මේ අතර අඩු පන්දුවාර වේගය වසරක් තුළ තරඟ දෙකකදී රඳවාගැනීමේ වරදට නායකයාට පැනවූ තරඟ තහනම තවදුරටත් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළා.ඒ සඳහා පැනවෙන දඩය මින් ඉදිරියට සෑම ක්‍රීඩකයෙකුටම සම සේ බෙදී යනු ඇති.එළඹෙන ටෙස්ට් ලෝක ශූරතාවලියේදී අඩු පන්දුවාර වේගයක් රඳවාගතහොත් තරඟය අවසානයේ ඔවුන්ට ලැබෙන ප්‍රසාද ලකුණු දෙක බැගින් අඩු කිරීමටද අයිසිසියේ අනුමැතිය හිමිවුණා.

එහෙම කරන්න එපා කියලත් කියලා

එංගලන්ත කණ්ඩායමේ සුපිරි වේග පන්දු ක්‍රීඩක ජේම්ස් අන්ඩසන් කරපු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ගැන මේ වෙනකොට විශාල කතා බහකට ලක් වෙලා තියෙනවා.ලෝක කුසලානයේදී එංගලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණු බෙන් ස්ටෝක් පිටිය අවසන් පන්දුවාරයේදී කරපු කවුරුත් නොදන්න වැඩක් ගැන තමා ඔහු කියලා තියෙන්නේ.හැමෝම විවේචනය කළ බෙන් ස්ටොක් දෙවෙනි ලකුණ වෙත කඩුල්ල අතර දිව යද්දී පිත්තේ වැදිලා ගිය හතරේ පහර ලකුණු පුවරුවෙන් ඉවත් කරන්න කියලා විනිසුරු කුමාර ධර්මසේනගෙන් බෙන් ස්ටොක් ඉල්ලලා තියෙනවා කියලා ජේම්ස් අන්ඩසන් කියලා තියෙනවා. නමුත් විනිසුරු එය ප්‍රතික්ෂේප කරලා ලකුණු හයක් ලබා දුන්නා. සමහර අය කියනවා ලකුණු පහක් දෙන්න තිබුණේ කියලා.කොහොම වුණත් බෙන් කියන්නේ හොඳ ක්‍රීඩකයෙක් කියලා තමා පේන්නේ.

එන සංචිතය මෙන්න

ශ්‍රී ලංකා තරඟ සංචාරයට එක්වන බංගලාදේශ ක්‍රිකට් සංචිතය අද නම්කර තිබෙනවා.එළඹෙන 26 වැනිදා සිට 31 වනදා දක්වා පැවැත්වෙන මෙම තරඟාවලියට එක්දින තරඟ 3 ක් ඇතුලත්.එම තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරඟ ලෙස පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.මෙම තරඟ සංචාරයේද බංගලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ වේගපන්දු යවන ක්‍රීඩක මෂ්රෆි මෝර්ටාසාටයි.මේ අතර මෙම සංචිතයට බංගලාදේශ කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් එක් නොවීම විශේෂත්වයක්.ඔහු විසින් සිදුකළ පෞද්ගලික ඉල්ලීමකට අනුව මෙලෙස ඔහු ශ්‍රී ලංකා තරඟ සංචාරයෙන් විවේක ගන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත බංගලාදේශ ක්‍රිකට් සංචිතය පහතින්.මෂ්රෆි මෝර්ටාසා (නායක),තමිම් ඉක්බාල්,මුෂ්ෆිකර් රහීම්,සබීර් රෙහ්මාන්,සෞම්‍ය සර්කාර්,මොහොමඩ් මිතුන්,මහමදුල්ලා රියාද්,මොසදික් හුසේන්,රුබෙල් හුසේන්,මස්ටෆිසුර් රෙහ්මාන්,මෙහෙදි හසන් මිරාස්,මොහොමඩ් සයිෆුදීන්,එනමුල් හක්,ටයිජුල් ඉස්ලාම්

නවසීලන්තයට මුල්තැන

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දක්ෂතා අනුව ලෝක කුසලාන කණ්ඩායමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.එම කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරඟාවලියට එක්වූ විවිධ කණ්ඩායම්වල සුපිරි ක්‍රීඩකයන් එක්කර තිබීම විශේෂත්වයක්.එම කණ්ඩායමේ නායකයා ලෙසින් ඔවුන් නම්කර ඇත්තේ නවසීලන්ත නායක කේන් විලියම්සන් වීම විශේෂත්වයක්.තවත් නවසීලන්ත ක්‍රීඩකයන් දෙදෙනෙකු ඒ සඳහා නම්කර ඇති අතර ඔවුන් වන්නේ ලුකී ෆර්ගියුසන් සහ ට්‍රෙන්ට් බෝල්ට්.මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස නම්කර තිබෙන්නේ ඉන්දීය ක්‍රීඩක රෝහිත් ශර්මා සමඟ එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයි.ජේසන් රොයිට අමතරව තවත් එංගලන්ත ක්‍රීඩකයන් තිදෙනෙකුට එම කණ්ඩායමට ඔවුන් නම්කර තිබෙනවා.එම ක්‍රීඩකයන් වන්නේ පිළිවෙලින් ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, ආර්චර්.රෝහිත් ශර්මාට අමතරව ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ද මෙම කණ්ඩායමට ඇතුලත්.එම කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇලෙක්ස් කඩුලු රකින්නා ලෙස නම්කර ඇති අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් ද එම කණ්ඩායමට ඇතුලත්.මීට අමතරව බංගලාදේශ කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ෂකිබ් අල් හසන් ට ද එහි ස්ථානයක් වෙන්කර තිබෙනවා.කෙසේ වෙතත් මෙම කණ්ඩායමට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඇතුලත් නොවීම විශේෂත්වයක්.

ධර්මසේනගේ ලකුණු 6 ගැන, සංවාදයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟයේ වාසිය එංගලන්තයට නතුවීමේ ප්‍රධාන හැරවුම් ලක්ෂය වූ අවසන් පන්දු වාරයේදී එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව වෙත ඇදී ගිය පන්දුවට ලකුණු 06ක් පිරිනැමීමේ සිදුවීම පිළිබඳ මේ වන විට දැඩි ආන්දෝලනාත්මක කථාබහක් ඇතිව තිබෙනවා.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තරඟ නීති පද්ධතියේ සඳහන් වන්නේ පන්දු රකින්නෙකු යොමු කරන පන්දුවක් හතරේ සීමාව වෙත ඇඳී ගියහොත් එම ලකුණු 04ට අමතරව පන්දු රකින්නාගේ අතින් පන්දුව ගිලිහෙන අවස්ථාව වන විට පිතිකරුවන් සම්පූර්ණ කර තිබූ ලකුණු මුළු ලකුණු සංඛ්‍යාවට එක්වන බවයි.ඊට අමතරව පන්දු රකින්නාගේ අතින් ගිලිහෙන අවස්ථාවේ තවත් ලකුණක් කරා දිව යමින් සිටින පිතිකරුවන් දෙදෙනා එකිනෙකා පසුකර තිබුණොත් පමණක් එම ලකුණ ද මුළු ලකුණු සංඛ්‍යාවට එක්විය යුතු බව, එහි සඳහන් වනවා.කෙසේ වෙතත්, මාර්ටින් ගප්ටිල්ගේ අතින් පන්දුව ගිලිහෙන අවස්ථාවේ අදීල් රෂීඞ් සහ බෙන් ස්ටොක්ස් එක් ලකුණක් පමණක් සම්පූර්ණ කර තිබූ නමුත්, දෙවන ලකුණ සඳහා දිව යාම ආරම්භ කර තිබුණ ද, එකිනෙකා පසුකර තිබුණේ නැහැ.ඒ අනුව නීති ප්‍රකාරව ඔවුන්ට හිමි විය යුත්තේ ලකුණු 5ක් පමණයි.නමුත්, එම අවස්ථාවේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන සිය අනෙක් විනිසුරු සගයන්ගේ මතය විමසීමෙන් පසු එංගලන්තයට ලකුණු 6ක් ලබා දුන්නා.හිටපු ක්‍රිකට් විනිසුරුවරයෙකු මෙන්ම, වර්තමානයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ නීති අංශයේ සාමාජිකයෙකු ද වන සයිමන් ටෝෆල් පෙන්වා දෙන්නේ එම අවස්ථාවේ වැඩිපුර ලකුණක් ලබාදීම මෙන්ම ඊළඟ පන්දුවට මුහුණදීමේ අවස්ථාව බෙන් ස්ටොක්ස්ට ලබාදීම ද විනිසුරුවන් අතින් සිදුවූ බරපතල වරදක් බවයි.යම් හෙයකින් විනිසුරුවන් නීතියට අනුව කටයුතු කළා නම් තරඟය ලකුණු සමවීමකින් අවසන් නොවී, නවසීලන්තය මේ වන විට ලෝක කුසලානයේ උරුමකරුවන් වීමට ඉතා ඉහළ අවස්ථාවක් තිබූ බව බොහෝ ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙනවා.

මගේ ජීවිත කාලය පුරාම මම ඒ ගැන සමාව ඉල්ලනවා

නවසීලන්තය පරාජයට පත් කරමින් ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (14) සමත්වුණා.එංගලන්තය මෙම ජයග්‍රහණය වාර්තා කරනු ලැබුවේ තරගයේදී ඔවුන් එල්ල කරනු ලැබූ හතරේ පහරවල් සංඛ්‍යාව නවසීලන්ත පිලට වඩා වැඩිවීම හේතුවෙන්.ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයකදී මේ අයුරින් කණ්ඩායමක් ජයගත් පළමු අවස්ථාව ලෙස ඊයේ තරගය ඉතිහාසයට එක්වනවා.කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 241 ක් රැස් කළා.නවසීලන්ත කණ්ඩායම සිය පන්දු වාර 50 තුළදී හතරේ පහරවල් 14 ක් සහ හයේ පහරවල් 2 ක් එල්ල කරනු ලැබුවා.ලකුණු 242 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් සිය පන්දු වාර 50 අවසානයේදී සියලුදෙනා දැවී ලකුණු 241 ක් ලබාගනිමින් නවසීලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව සම කළා.එහිදී එංගලන්ත පිතිකරුවන් සිය ඉනිම තුළදී හතරේ පහරවල් 22ක් සහ හයේ පහර 2 ක් එල්ල කරනු ලැබුවා.කණ්ඩායම් දෙකම සම ලකුණු රැස් කිරීම හේතුවෙන් තරගයේ තීරණය ලබාගැනීම සඳහා සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක වූ අතර, පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම එහිදී ලකුණු 15 ක් රැස් කළා.ලකුණු 16 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසියේ නවසීලන්ත කණ්ඩායමේ ජිම් නීෂම් සහ මාටින් ගප්ටිල්.කෙසේ වෙතත් ජෝෆර් ආචර් විසින් යැවූ සුපිරි ඕවරයේ පළමු පන්දු 5 තුළදී ලකුණු 14 ක් ලබාගත් නවසීලන්ත පිතිකරුවන් යුගලය අවසාන පන්දුවේදී තරගය ජයග්‍රහණය සඳහා රැස් කිරීමට අවශ්‍යව තිබුණේ ලකුණු 2 ක් පමණයි.නමුත් අවසාන පන්දුවේදී මිඩ් විකට් කලාපයට පහරක් එල්ල කරමින් මාටින් ගප්ටිල් පළමු ලකුණ ලබාගෙන දෙවන ලකුණ කරා දිවයාමේදී ඔහුව දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ජොස් බට්ලර් සමත්වුණා.ඒ අනුව සුපිරි පන්දු වාරයේදීද දෙපිලම ලබාගත් ලකුණු සංඛ්‍යාව සමවුණා.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතියට අනුව වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කරනු ලැබූ එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලානය දිනාගත් කණ්ඩායම ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.1975 වසරේ ආරම්භ කරනු ලැබූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ගතවූ වසර 44 තුළදී අවසන් මහා තරගයක තීරණය ලබාගැනීම සඳහා සුපිරි පන්දු වාරයක අවස්ථාව දක්වා පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, ඉන්ද තීරණයක් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කරනු ලැබූ කණ්ඩායම ලෝක ශූරයින් බවට පත්වූ අවස්ථාව ලෙස ඊයේ තරගය ඉතිහාසයට එක්වනවා.

තරඟාවලියේ වීරයා ලෙස නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන් සම්මානයට පාත්‍රවුණා.තරගයේ වීරයා ලෙස බෙන් ස්ටොක්ස් නම් කරනු ලැබූවා.මේ අතර තරඟයේ සිදුවූ එක් සිදුවීමක් පිළිබදව තමන් කණගාටුවන බව බෙන් ස්ටොක්ස් පවසනවා.එංගලන්ත ඉනිමේ අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුවේදී මෙම සිදුව්ම සිදුවන අතර පන්දු රකින ක්‍රීඩකයෙක් විසින් නවසීලන්ත කඩුලු රකින ක්‍රීඩකයා වෙත යොමු කරන පන්දුව එම අවස්ථාවේ කඩුලු අතර දුවමින් සිටි බෙන් ස්ටොක්ස්ගේ ශරීරයේ වැදී හතරේ සීමාව වෙත ඇදී යනවා.ඒ අනුව එංගලත්න පිලට අතිරේක ලකුණු 04ක් එක්වුණා.එම අවස්ථාවේ එංගලන්ත පිළට පන්දු 03ක් තුල ලකුණු 09ක් අවශ්‍යව තිබූ අතර එම සිදුවීම සිදුවන අවස්ථාවේ පිතිකරුවන් දෙදෙනා කඩුලු අතර දිවයමින් ලකුණු 02ක් රැස්කරගෙන තිබූ අතර පන්දුව බෙන් ස්ටොක්ස්ගේ ශරීරයේ වැදී හතරේ සීමාව වෙත ගොස් එංගලන්ත පිලට එක්වූ අතිරේක ලකුණු 04ත් සමඟ එම පන්දුවේදී එංගලන්ත පිලට ලකුණු 06ක් හිමිවුණා.එම අවස්ථාවට මුහුණ දුන් බෙන් ස්ටොක්ස් සිදුවූ එම සිදුවීම සම්බන්ධයෙන් “මම කේන්ට කිව්වා මගේ ජීවිත කාලය පුරාම මම ඒ ගැන සමාව ඉල්ලනවා” යනුවෙන් පවසා තිබෙනවා.

තරඟ 62යි පරාජ 37යි. මෙන්න විසඳුම

එංගලන්තයේදී හෙටින් (14) අවසන් වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග 7කට (වර්ෂාවෙන් බාධා එල්ල වූ තරග දෙක නොමැතිව) සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනක් ජයගෙන තරග හතරක් පරාජය වී ඉදිරි වටය අහිමි වීම හේතුවෙන් වේලාසනින්ම මවුබිමට පැමිණියද හෙට (14දා) පැවැත්වෙන අවසන් තරගය සඳහා නවසීලන්තය හා එංගලන්තය මේ වනවිටත් සූදානම්ව සිටින්නේ සැබවින්ම ඔවුන් දක්‍ෂතාවලින් පරිපූර්ණව සිටින කණ්ඩායම් නිසා බව රහසක් නෙමෙයි.ජාත්‍යන්තර එක්දින වර්ගීකරණයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ටත් පහළින් එනම් 9 වැනි ස්ථානයේ රැඳී සිටිමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිවිසි ශ්‍රී ලංකා පිල අවසානයේදී කොදෙව්වන් පමණක් පසුපසට දමමින් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තරගාවලිය නිම කළා.එත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙයට වඩා දෙයක් කළ හැකිව තිබූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු, කළමනාකරු හා නායකයාම පිළිගැනීම තුළින් පෙනී යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට පිවිස ඇත්තේ යහපත් මානසිකත්වයකින් නොවන බවය. විනය, කණ්ඩායම් හැඟීම, ඉවසීම, දරා ගැනීමේ ශක්තිය යන ප්‍රධාන අංගයන් සඳහා වැඩි දායකත්වයක් සැපයෙන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුලින්. එහෙනම් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් බිහි කරන ‘කලලය’ නිර්මාණය වන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් වුවත් වර්තමානයේදී පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ක්‍රීඩකයන් බිහි වන්නේ ‘හාවා හඳ දකින’ මට්ටමේ බව හිටපු තේරීම් කමිටු සභාපතිවරයකුද ප්‍රකාශ කිරීම තුළ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව ඇති ඉරණම පැහැදිලිය. ඔහුගේ කියමන 100%ක්ම නිවැරදි බව කියන්න අවශ්‍යයි.1980-2000 දශකවලදී පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණ ක්‍රීඩකයන් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කවුද යන්න මුළු රටේම ක්‍රීඩාලෝලීන්ට ඇස් වසාගෙන කීමට පුළුවන්කම තිබිණි. එම වකවානුවලදී ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මුදුන් පෙත්තටම යෑමට හැකිව තිබුණේ එම අවධියේදී ක්‍රිකට් කරවූ මහත්වරුන් ඔවුන්ට හිමිවූ සොච්චම් වැටුපට එහා ගොස් තම ශ්‍රමය හා කාලය කැප කළ නිසා බව සැවොම දන්නා කරුණකි. මේ හේතුවෙන්ම එම වකවානුවේදී පාසල් ක්‍රිකට් ගමන නිමාකළ සැණින්ම ජාතික කණ්ඩායමේ ‍ෙදාර විවර කර ගැනීමට සමත්වූ ක්‍රීඩකයන් අතර අර්ජුන රණතුංග (අවුරුදු 18දී), අරවින්ද ද සිල්වා (19), හෂාන් තිලකරත්න (19), අසංක ගුරුසිංහ (19), රොෂාන් මහානාම (20), සනත් ජයසූරිය (20), චමින්ද වාස් (20), මාවන් අතපත්තු (20), මහේල ජයවර්ධන (20), තිසර පෙරේරා (20) ප්‍රධාන තැනක් ගත්තා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් දායාද කරන ‘විශ්වවිද්‍යාලය’ බිමට සමතලා වීමට අවශ්‍ය මාර්ගය සකසා තිබෙන්නේ කාලයක් පුරා එම ‘විශ්වවිද්‍යාලය’ රජ බොජුනක් කරගත් අදූරදර්ශී නිලධාරී මණ්ඩලයෙහි ක්‍රියාකලාපය හේතුවෙන් බව අමුතුවෙන් මතක් කර දිය යුතු නැහැ.වර්තමානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතරින් පාසල් ක්‍රිකට් නතර කළ සැණින්ම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වාසනාව උදාකරගෙන ඇත්තේ අවිශ්ක ප්‍රනාන්දු පමණක් වීමද ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව එසේ වළපල්ලට ගොස් ඇති බවට කදිම සාක්ෂියක්.1998දී උපන් අවිශ්ක ප්‍රනාන්දුට වයස අවුරුදු 18දී එනම් 2016 වසරේදී එක්දින වරම් දිනාගැනීමට හැකි වුවද එම වසරෙන් පසු පාසල් කණ්ඩායම නියෝජනය කර අවසන් වූ සැණින්ම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කිරීමට ආසන්නතම අවස්ථාව උදාකරගෙන තිබෙන්නේ කමිඳු මෙන්ඩිස් පමණි. මේ වනවිට ඔහුටද කණ්ඩායමේ ස්ථානය සුරක්ෂිත කරගැනීමට නොහැකි වී ඇත්තේ බලධාරීන් ඔහු පිළිබඳව නිසි අයුරින් විමසා නොබැලූ නිසා බව පෙනෙන්නට තිබෙනවා.

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් නිමාවට පත් වුවද ලැබූ අමිහිරි අත්දැකීම් ඊළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සිදු නොවීමට ක්‍රිකට් කරවන මහත්වරු දැන් සිටම වගබලා නොගතහොත් තවත් සිවු වසරකින් (2023දී) ඉන්දියාවේදී ආරම්භ වන එම තරගාවලියත් සහභාගිවීමට පමණක් සීමා වූ තරගාවලියක් බවට පත්වීම වලක්වන්නට බැහැ. ඒ සඳහා සූදානම් වීමට ක්‍රිකට් පරිපාලනයේ නිරත වන මහත්වරුන් “කණ්ඩායම සුද්ද කිරීම” දැන් සිටම සිදුකළ යුතු අතරම, ක්‍රීඩක පළපුරුද්ද පමණක්ම ප්‍රධාන කරගනිමින් ඊළඟ ලෝක කුසලානයට යෑම විහිළුවට කරුණක් බවට පත්විය හැකි වන්නේ මෙවරද ‘පළපුරුද්ද’ ඉදිරියට දමා රැගෙන ගිය ඇතැම් ක්‍රීඩකයන්ට අත්වූ ඉරණම දැකීමෙනි.වර්තමානයේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටද විස්සයි-20 ක්‍රිකට් රටාව (වේගයෙන් ලකුණු රැස්කිරීම) මුසු වී ඇති මොහොතක තරුණ ජවය පසෙකට විසිකර ‘පළපුරුද්ද’ පමණකින්ම යැපීමට සුදානම් වීම මෝඩකමකි. අඩුම වශයෙන් තවත් වසර දෙකක් හෝ තුනක් හෝ කණ්ඩායමේ නියැළීමට අවස්ථාව තිබියදීත් මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර හා ටී.එම්. ඩිල්ෂාන් 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු කණ්ඩායමට සමු දුන්නේත් ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නවකයන්ට සූදානම්වීමට අවශ්‍ය කාලයක් ලබා දෙමින් බව ඉතිහාසය සාක්‍ෂි දරා තිබෙනවා.

ඒ අනුව මහේල, සංගා හා ඩිල්ෂාන් අනුගමනය කළ ක්‍රමය අනුගමනය කරමින් ඊළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටත් මෙම නඩයෙන්ම යැපීමට සූදානම් නොවී අවිශ්ක වැනි තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනකු බිහිකර ගැනීම ක්‍රිකට් කරවන මහත්වරුන්ගේ යුතුකමක් හා වගකීමක්.කරුණු කාරණා කෙසේ වුවත් 2017 වසරේ දෙසැම්බර් මස සිට වසරකට රුපියල් කෝටි 6කට ආසන්න (දිමනා නොමැතිව) වැටුපක් ලබන බවට පැවසෙන එමෙන්ම ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රිකට් පුහුණුකරුවන් අතරින් සිවුවැනියා බවට පත්ව සිටින චන්දික හතුරුසිංහගෙන් අපේක්ෂිත සේවාව ඉටුවුණාද කියා කිසිවකුට හෝ ප්‍රශ්නයක් මතු නොවේ නම් එය පුදුමයක්.එයට ආසන්නතම හේතු ගණනාවක් ඇත. හතුරුසිංහ මහතාගේ පුහුණුකාරීත්වය යටතේ 2018 වසරේ ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 36කට සහභාගි වී ජයග්‍රහණ 10ක් ලබා ඇති නමුත් පරාජයන් 22ක්ද, ටෙස්ට් තරග 16කදී 6ක් ජයගෙන පරාජයන් 7ක්ද, විස්සයි-20 තරග 10කට සහභාගි වී තරග 8ක්ම පරාජය වී තිබීමේ වගකීමෙන් නිදහස් වීමට ඔහුට හැකියාවක් නැහැ. වසරකට රුපියල් කෝටි 21කට ආසන්න වැටුපක් ලබමින් ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රිකට් පුහුණුකරුවන් අතර පළමු ස්ථානයේ පසුවන ඉන්දියාවේ රවී ශාස්ත්‍රි පුහුණුකරණයේ යෙදෙන ඉන්දීය කණ්ඩායමත්, දෙවැනියට වැඩිම වැටුපක් ලබන (වසරකට රුපියල් කෝටි 12කට ආසන්න) ජස්ටින් ලැන්ගර්ගේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමත්, තෙවැනියට වැඩිම වැටුපක් ලබන (වසරකට රුපියල් කෝටි 9කට ආසන්න) ට්‍රෙවර් බේලිස්ගේ එංගලන්ත කණ්ඩායමත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ නමුත් සිවුවැනියට වැඩිම වැටුපක් ලබන චන්දික හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හයවැනි ස්ථානයට පත්වූයේ ඇයිද යන්නත් විමසා බැලිය යුතුය. ඒ අනුව ඉදිරියෙන්ම සිටින පුහුණුකරුවන් තිදෙනා ඔවුන් ලබාගන්නා වැටුප වෙනුවෙන් ඔවුන්ගේ උපරිම දායකත්වය කණ්ඩායම වෙනුවෙන් ලබා දී තිබියදී හතුරුසිංහගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබී ඇති දායකත්වය තේරුම්ගෙන ඔහුට ලබාදිය යුතු ස්ථානය ඉදිරියේදී තීරණය කිරීම බලධාරීන්ගේ යුතුකමකි. “මට තව මාස 16ක පමණ කොන්ත්‍රාත් කාලයක් තියෙනවා. ඒ කාලයත් මම ඉන්නවා” යනුවෙන් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී හතුරුසිංහ කළ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ලැබී ඇති ‘නිධානය’ අත්හැර යෑමට කිසිදු කැමැත්තක් ඔහු තුළ නොමැති බවයි.

මේ අතර ‘ක්‍රීඩකයන් සෙල්ලම් කළ යුත්තේ පුහුණුකරුවන් වෙනුවෙන් නොවෙයි, රට වෙනුවෙන්’ යැයි මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව පැත්තෙන් සාර්ථකම වූ එකම පන්දු යවන්නා බවට පත්වූ ලසිත් මාලිංග සඳහන් කළ ප්‍රකාශයට මල් මිටක් පිදිය යුතුය. පුහුණුකරුවන් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නම් මිලියන ගණන් මුදල් වියදම් කරමින් පුහුණුකරුවන් ගෙන්වීමේ අවශ්‍යතාවක් නැත. එසේ නම් ක්‍රිකට් බලධාරීන් පළමුව කළ යුත්තේ ‘රට වෙනුවෙන්’ පමණක් සෙල්ලම් කරන ක්‍රීඩකයන් පිරිසක් සොයා ගැනීමයි.අවසන් වශයෙන් එක් කරුණක් සඳහන් කළ යුතුව ඇත. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව ලෙස පිළිගැනෙන ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ හදවත තුළ තැන්පත් කරගනිමින් ජීවත් වන ක්‍රීඩාලෝලීන්ගේ ඇස් වසා කවුරුන් කෙසේ පිනුම් ගැසුවත් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා නිලධාරීන් මේ ‘කාබාසිනියා’ කරන්නේ මහජන මුදල් බව දැනගත යුතු අතරම කෙදිනක හෝ එයට දඬුවම් විඳීමට සිදුවන බවත් මතක තබා ගත යුතුමය.- විචිත්‍ර වීරසිංහ