තරඟ 62යි පරාජ 37යි. මෙන්න විසඳුම

එංගලන්තයේදී හෙටින් (14) අවසන් වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග 7කට (වර්ෂාවෙන් බාධා එල්ල වූ තරග දෙක නොමැතිව) සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනක් ජයගෙන තරග හතරක් පරාජය වී ඉදිරි වටය අහිමි වීම හේතුවෙන් වේලාසනින්ම මවුබිමට පැමිණියද හෙට (14දා) පැවැත්වෙන අවසන් තරගය සඳහා නවසීලන්තය හා එංගලන්තය මේ වනවිටත් සූදානම්ව සිටින්නේ සැබවින්ම ඔවුන් දක්‍ෂතාවලින් පරිපූර්ණව සිටින කණ්ඩායම් නිසා බව රහසක් නෙමෙයි.ජාත්‍යන්තර එක්දින වර්ගීකරණයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ටත් පහළින් එනම් 9 වැනි ස්ථානයේ රැඳී සිටිමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිවිසි ශ්‍රී ලංකා පිල අවසානයේදී කොදෙව්වන් පමණක් පසුපසට දමමින් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තරගාවලිය නිම කළා.එත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙයට වඩා දෙයක් කළ හැකිව තිබූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු, කළමනාකරු හා නායකයාම පිළිගැනීම තුළින් පෙනී යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට පිවිස ඇත්තේ යහපත් මානසිකත්වයකින් නොවන බවය. විනය, කණ්ඩායම් හැඟීම, ඉවසීම, දරා ගැනීමේ ශක්තිය යන ප්‍රධාන අංගයන් සඳහා වැඩි දායකත්වයක් සැපයෙන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුලින්. එහෙනම් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් බිහි කරන ‘කලලය’ නිර්මාණය වන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් වුවත් වර්තමානයේදී පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ක්‍රීඩකයන් බිහි වන්නේ ‘හාවා හඳ දකින’ මට්ටමේ බව හිටපු තේරීම් කමිටු සභාපතිවරයකුද ප්‍රකාශ කිරීම තුළ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව ඇති ඉරණම පැහැදිලිය. ඔහුගේ කියමන 100%ක්ම නිවැරදි බව කියන්න අවශ්‍යයි.1980-2000 දශකවලදී පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණ ක්‍රීඩකයන් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කවුද යන්න මුළු රටේම ක්‍රීඩාලෝලීන්ට ඇස් වසාගෙන කීමට පුළුවන්කම තිබිණි. එම වකවානුවලදී ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මුදුන් පෙත්තටම යෑමට හැකිව තිබුණේ එම අවධියේදී ක්‍රිකට් කරවූ මහත්වරුන් ඔවුන්ට හිමිවූ සොච්චම් වැටුපට එහා ගොස් තම ශ්‍රමය හා කාලය කැප කළ නිසා බව සැවොම දන්නා කරුණකි. මේ හේතුවෙන්ම එම වකවානුවේදී පාසල් ක්‍රිකට් ගමන නිමාකළ සැණින්ම ජාතික කණ්ඩායමේ ‍ෙදාර විවර කර ගැනීමට සමත්වූ ක්‍රීඩකයන් අතර අර්ජුන රණතුංග (අවුරුදු 18දී), අරවින්ද ද සිල්වා (19), හෂාන් තිලකරත්න (19), අසංක ගුරුසිංහ (19), රොෂාන් මහානාම (20), සනත් ජයසූරිය (20), චමින්ද වාස් (20), මාවන් අතපත්තු (20), මහේල ජයවර්ධන (20), තිසර පෙරේරා (20) ප්‍රධාන තැනක් ගත්තා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් දායාද කරන ‘විශ්වවිද්‍යාලය’ බිමට සමතලා වීමට අවශ්‍ය මාර්ගය සකසා තිබෙන්නේ කාලයක් පුරා එම ‘විශ්වවිද්‍යාලය’ රජ බොජුනක් කරගත් අදූරදර්ශී නිලධාරී මණ්ඩලයෙහි ක්‍රියාකලාපය හේතුවෙන් බව අමුතුවෙන් මතක් කර දිය යුතු නැහැ.වර්තමානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතරින් පාසල් ක්‍රිකට් නතර කළ සැණින්ම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වාසනාව උදාකරගෙන ඇත්තේ අවිශ්ක ප්‍රනාන්දු පමණක් වීමද ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව එසේ වළපල්ලට ගොස් ඇති බවට කදිම සාක්ෂියක්.1998දී උපන් අවිශ්ක ප්‍රනාන්දුට වයස අවුරුදු 18දී එනම් 2016 වසරේදී එක්දින වරම් දිනාගැනීමට හැකි වුවද එම වසරෙන් පසු පාසල් කණ්ඩායම නියෝජනය කර අවසන් වූ සැණින්ම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කිරීමට ආසන්නතම අවස්ථාව උදාකරගෙන තිබෙන්නේ කමිඳු මෙන්ඩිස් පමණි. මේ වනවිට ඔහුටද කණ්ඩායමේ ස්ථානය සුරක්ෂිත කරගැනීමට නොහැකි වී ඇත්තේ බලධාරීන් ඔහු පිළිබඳව නිසි අයුරින් විමසා නොබැලූ නිසා බව පෙනෙන්නට තිබෙනවා.

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් නිමාවට පත් වුවද ලැබූ අමිහිරි අත්දැකීම් ඊළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සිදු නොවීමට ක්‍රිකට් කරවන මහත්වරු දැන් සිටම වගබලා නොගතහොත් තවත් සිවු වසරකින් (2023දී) ඉන්දියාවේදී ආරම්භ වන එම තරගාවලියත් සහභාගිවීමට පමණක් සීමා වූ තරගාවලියක් බවට පත්වීම වලක්වන්නට බැහැ. ඒ සඳහා සූදානම් වීමට ක්‍රිකට් පරිපාලනයේ නිරත වන මහත්වරුන් “කණ්ඩායම සුද්ද කිරීම” දැන් සිටම සිදුකළ යුතු අතරම, ක්‍රීඩක පළපුරුද්ද පමණක්ම ප්‍රධාන කරගනිමින් ඊළඟ ලෝක කුසලානයට යෑම විහිළුවට කරුණක් බවට පත්විය හැකි වන්නේ මෙවරද ‘පළපුරුද්ද’ ඉදිරියට දමා රැගෙන ගිය ඇතැම් ක්‍රීඩකයන්ට අත්වූ ඉරණම දැකීමෙනි.වර්තමානයේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටද විස්සයි-20 ක්‍රිකට් රටාව (වේගයෙන් ලකුණු රැස්කිරීම) මුසු වී ඇති මොහොතක තරුණ ජවය පසෙකට විසිකර ‘පළපුරුද්ද’ පමණකින්ම යැපීමට සුදානම් වීම මෝඩකමකි. අඩුම වශයෙන් තවත් වසර දෙකක් හෝ තුනක් හෝ කණ්ඩායමේ නියැළීමට අවස්ථාව තිබියදීත් මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර හා ටී.එම්. ඩිල්ෂාන් 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු කණ්ඩායමට සමු දුන්නේත් ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නවකයන්ට සූදානම්වීමට අවශ්‍ය කාලයක් ලබා දෙමින් බව ඉතිහාසය සාක්‍ෂි දරා තිබෙනවා.

ඒ අනුව මහේල, සංගා හා ඩිල්ෂාන් අනුගමනය කළ ක්‍රමය අනුගමනය කරමින් ඊළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටත් මෙම නඩයෙන්ම යැපීමට සූදානම් නොවී අවිශ්ක වැනි තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනකු බිහිකර ගැනීම ක්‍රිකට් කරවන මහත්වරුන්ගේ යුතුකමක් හා වගකීමක්.කරුණු කාරණා කෙසේ වුවත් 2017 වසරේ දෙසැම්බර් මස සිට වසරකට රුපියල් කෝටි 6කට ආසන්න (දිමනා නොමැතිව) වැටුපක් ලබන බවට පැවසෙන එමෙන්ම ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රිකට් පුහුණුකරුවන් අතරින් සිවුවැනියා බවට පත්ව සිටින චන්දික හතුරුසිංහගෙන් අපේක්ෂිත සේවාව ඉටුවුණාද කියා කිසිවකුට හෝ ප්‍රශ්නයක් මතු නොවේ නම් එය පුදුමයක්.එයට ආසන්නතම හේතු ගණනාවක් ඇත. හතුරුසිංහ මහතාගේ පුහුණුකාරීත්වය යටතේ 2018 වසරේ ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 36කට සහභාගි වී ජයග්‍රහණ 10ක් ලබා ඇති නමුත් පරාජයන් 22ක්ද, ටෙස්ට් තරග 16කදී 6ක් ජයගෙන පරාජයන් 7ක්ද, විස්සයි-20 තරග 10කට සහභාගි වී තරග 8ක්ම පරාජය වී තිබීමේ වගකීමෙන් නිදහස් වීමට ඔහුට හැකියාවක් නැහැ. වසරකට රුපියල් කෝටි 21කට ආසන්න වැටුපක් ලබමින් ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රිකට් පුහුණුකරුවන් අතර පළමු ස්ථානයේ පසුවන ඉන්දියාවේ රවී ශාස්ත්‍රි පුහුණුකරණයේ යෙදෙන ඉන්දීය කණ්ඩායමත්, දෙවැනියට වැඩිම වැටුපක් ලබන (වසරකට රුපියල් කෝටි 12කට ආසන්න) ජස්ටින් ලැන්ගර්ගේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමත්, තෙවැනියට වැඩිම වැටුපක් ලබන (වසරකට රුපියල් කෝටි 9කට ආසන්න) ට්‍රෙවර් බේලිස්ගේ එංගලන්ත කණ්ඩායමත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ නමුත් සිවුවැනියට වැඩිම වැටුපක් ලබන චන්දික හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හයවැනි ස්ථානයට පත්වූයේ ඇයිද යන්නත් විමසා බැලිය යුතුය. ඒ අනුව ඉදිරියෙන්ම සිටින පුහුණුකරුවන් තිදෙනා ඔවුන් ලබාගන්නා වැටුප වෙනුවෙන් ඔවුන්ගේ උපරිම දායකත්වය කණ්ඩායම වෙනුවෙන් ලබා දී තිබියදී හතුරුසිංහගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබී ඇති දායකත්වය තේරුම්ගෙන ඔහුට ලබාදිය යුතු ස්ථානය ඉදිරියේදී තීරණය කිරීම බලධාරීන්ගේ යුතුකමකි. “මට තව මාස 16ක පමණ කොන්ත්‍රාත් කාලයක් තියෙනවා. ඒ කාලයත් මම ඉන්නවා” යනුවෙන් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී හතුරුසිංහ කළ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ලැබී ඇති ‘නිධානය’ අත්හැර යෑමට කිසිදු කැමැත්තක් ඔහු තුළ නොමැති බවයි.

මේ අතර ‘ක්‍රීඩකයන් සෙල්ලම් කළ යුත්තේ පුහුණුකරුවන් වෙනුවෙන් නොවෙයි, රට වෙනුවෙන්’ යැයි මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව පැත්තෙන් සාර්ථකම වූ එකම පන්දු යවන්නා බවට පත්වූ ලසිත් මාලිංග සඳහන් කළ ප්‍රකාශයට මල් මිටක් පිදිය යුතුය. පුහුණුකරුවන් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නම් මිලියන ගණන් මුදල් වියදම් කරමින් පුහුණුකරුවන් ගෙන්වීමේ අවශ්‍යතාවක් නැත. එසේ නම් ක්‍රිකට් බලධාරීන් පළමුව කළ යුත්තේ ‘රට වෙනුවෙන්’ පමණක් සෙල්ලම් කරන ක්‍රීඩකයන් පිරිසක් සොයා ගැනීමයි.අවසන් වශයෙන් එක් කරුණක් සඳහන් කළ යුතුව ඇත. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව ලෙස පිළිගැනෙන ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ හදවත තුළ තැන්පත් කරගනිමින් ජීවත් වන ක්‍රීඩාලෝලීන්ගේ ඇස් වසා කවුරුන් කෙසේ පිනුම් ගැසුවත් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා නිලධාරීන් මේ ‘කාබාසිනියා’ කරන්නේ මහජන මුදල් බව දැනගත යුතු අතරම කෙදිනක හෝ එයට දඬුවම් විඳීමට සිදුවන බවත් මතක තබා ගත යුතුමය.- විචිත්‍ර වීරසිංහ