ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී

මම එහෙම කරා නම් ස්ටොක්ස් මගේ ඔළුවට බැට් එකෙන් ගහන්න ඉඩ තිබුණා – ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී එල්ල වන සියලු චෝදනා ගැන ධර්මසේන පිළිතුරු දුන්නේ මෙහෙමයි.අවුරුදු 44ක ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසය තුළ බොහෝ කලක් ගතවනතුරුම සිතෙන් ඈත් නොවන අවසන් තරගයක් දැකබලා ගන්නට බිලියන 2කට ආසන්න ක්‍රීඩාලෝලී ප්‍රජාවට පසුගියදා අවස්ථාව උදා වී තිබුණේ නවසීලන්තය හා එංගලන්තය අතර පැවැති අවසන් තරගයේදී සිදුවූ සිදුවීම් සමුදාය හේතුවෙනි.තරගය සම වීම, ඉන් පසු දෙපිලටම පිරිනැමුණු සුපිරි පන්දුවාරයද සම වීම මෙන්ම තවත් කරුණු කිහිපයක්ම එම ලෝක කුසලාන අවසන් තරගයේදී දැකගැනීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව උදාවිය.කෙසේ වෙතත් එම අවසන් තරගයේ අවසන් පන්දුවාරයේ සිවුවැනි පන්දුවේදී පන්දු රැකීමේ නිරතව සිටි මාටින් ගප්ටිල් කඩුල්ල වෙත යොමුකළ පන්දුව බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ ගැටී 4 සීමාව වෙත යෑමේදී තරගයේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ කුමාර ධර්මසේන විසින් එයට ලකුණු 6ක් ලබාදීම නිවැරදි නොවන බව පුනරූපණවලින් දිස්වීමත් සමඟ මෙරට ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනකුගේ අවධානය කුමාර ධර්මසේන වෙත යොමුවිය.හිටපු ක්‍රිකට් විනිසුරුවරයකුව සිටි සයිමන් ටෝෆල්ද මේ සම්බන්ධයෙන් ‘කට කැඩිච්ච’ වචන මාලාවක් එල්ල කිරීමත් සමඟ මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ මත ගොඩනැඟෙන්නට හේතු පාදක වී ඇති බැවින් මෙහි සත්‍යය සොයා යෑමට අපි තීරණය කළෙමු.ක්‍රිකට් නීති පද්ධතිය අනුව පන්දු රකින්නන් අතින් සිදුවන අතපසුවීමකදී හිමිවන ලකුණු පිරිනැමීමේදී එම අතපසුවීම සිදුවන අවස්ථාවේදී පිතිකරුවන් සම්පූර්ණ කර ඇති ලකුණු ප්‍රමාණය පමණක් ලබා දිය යුතු වුවත් නවසීලන්ත පිලේ ගප්ටිල් පන්දුව කඩුල්ල වෙත යොමු කරනවිට ස්ටොක්ස් හා රෂීඩ් දෙවැනි ලකුණ සම්පූර්ණ කිරීමට පැති මාරු කරගෙන නොසිටි අවස්ථාවක ලකුණු 5ක් ලබා දිය යුතුව තිබියදී ලකුණු 6ක් පිරිනැමීම පිළිබඳව කුමාර ධර්මසේන මහතාගෙන් ලැබුණේ මෙවන් පිළිතුරකි.

අපේ අය ලොකු කරන්න හදන දේ දිහා බැලුවහම මට කනගාටුවක් දැනෙනවා. මෙහෙම හිතන්න. ප්‍රධාන විනිසුරු හැටියට මම වයිඩ් එකක් දුන්නොත් ඒක කාටවත් වෙනස් කරන්න බැහැනේ. මේකත් එහෙම එකක්. මට මේ වගේ එකක් තුන්වැනි විනිසුරුවරයාගෙන් අහන්න බැහැ. මගේ අනෙක් විනිසුරුගෙන් විතරයි මට අහන්න පුළුවන්. ඉතින් අපි දෙන්නටම තේරිච්ච දෙයක් තමයි බෙන් ස්ටොක්ස් කියන ක්‍රීඩකයා අනෙක් පැත්තේ සීමාව සටහන් කරන කොට පන්දු රකින්නාගෙන් බෝලේ රිලීස් (මුදා හැරිය) වෙච්ච අවස්ථාවේදී ඒ දෙන්නා කේ‍රාස් කරලා (එකිනෙකා පසුකර) හිටියා කියලා තමයි අපට පේන්නේ. ඒත් ඕනෑම කෙනකුට තරගයෙන් පස්සේ කැමරාවලින් බලලා වෙනත් නිගමනයකට එන්න පුළුවන්. ඒවා බලනකොට අපිට වුණත් පේනවා එතැන වැරැද්දක් වෙලා තියෙනවා කියලා. හැබැයි තෙවැනි විනිසුරුවරයාට දාලා අපිට ඒ වැරැද්ද නැවත නිවැරැදි කරන්න බැහැ. නවසීලන්ත ක්‍රීඩකයා පන්දුව විකට් එකට යොමු කරන වෙලාවෙදී මෙයාලා දෙන්නා (ස්ටොක්ස් හා රෂීඩ්) ක්‍රීස් කරනවද කියලා (රේඛාව සටහන් කරනවද) බලන්න ඕන. මෙයාලා දෙන්නා කේ‍රාස් කරලද (එකිනෙකා පසුකර තිබෙනවාද යන්න) කියලා බලන්නත් ඕන. මේ හැම දෙයක්ම කරන්න මට ඇස් හයක් විතර තියෙන්න ඕන. ඔය වගේ දෙයක් තෙවැනි විනිසුරුවරයාට දැම්ම නම් හොඳයි කියලා ඕනෑම අයෙක් කියාවි. දැන් බලන්න වයිඩ් එකක්, නෝ බෝල් එකක් චෙක් කරගන්න අපි තෙවැනි විනිසුරුවරයාට දාන්නෙ නැහැ. එහෙම නම් අපි මෙතන ඉන්න ඕන නැහැනේ. මේකත් ඒ වගේ දෙයක්. මේ සිදුවීමත් තෙවැනි විනිසුරුවරයාට දාන්න බැහැ. එහෙම දැම්ම නම් ඔයා ඒක තෙවැනි විනිසුරුට දැම්මේ කොහොමද කියලා එංගලන්ත ක්‍රීඩකයන් ඇවිත් මගෙන් අහවි. එහෙම නැත්නම් ඔවුන් මැච් එක සෙල්ලම් නොකර එළියට යන්න තිබුණා. ඒ වගේම මම බෙන් ස්ටොක්ස් එහා පැත්තේ තබා ගත්තා නම් (පන්දුව පහර දෙන පැත්තට විරුද්ධ පැත්තෙ) එයා (බෙන් ස්ටොක්ස්) ඇවිල්ලා මගේ ඔළුවට බැට් එකෙන් ගහන්නත් ඉඩ තිබුණා. (සිනා සෙමින්) කොහොම වුණත් අයි.සී.සී. එකත් මම ගත්ත තීරණය ගැන මට ප්‍රශංසා කළා. අයි.සී.සී.යට ඒ ගැන ප්‍රශ්නයක් වුණා නම්, මම ගත්තු තීරණය වැරැදි නම් ඒ අය මාව එළියට දාන්න ඕන නේ. අදටත් ඒ අය (අයි.සී.සී.ය) ඒ ගැන මගෙන් අහලා නැහැ….

තරගයෙන් පස්සේ නවසීලන්ත ක්‍රීඩකයන් මේ සම්බන්ධයෙන් කතා කළාද?මොනවද එයාලා මගෙන් ඇවිල්ලා අහන්නේ. උදාහරණයක් කියන්නම් මම වයිඩ් නැති එකක් වයිඩ් එකක් කියලා දෙනවා. මැච් එක ඉවර වෙලා ඒ අය මගෙන් ඇවිල්ලා අහනවද? ඇයි සර් වයිඩ් එකක් දුන්නේ කියලා. මම දකින වෙලාවට දෙන දේ වෙනස් කරන්න කාටවත් බැහැ. ඕනෑම විනිසුරුවරයකුට වැඩ කරද්දී වැරැදි සිද්ධ වෙනවා. හැබැයි මම තමයි වැරැදි අඩුවෙන්ම කරන පුද්ගලයා. ඒකනේ මම ලෝකෙන්ම අංක එක වෙලා තියෙන්නේ. ඔය වගේ වැරැදිවලට කියන්නේ ජජ්මෙන්ටල් එර  කියලයි. දැන් බලන්න පන්දු යවන්නකු නෝ බෝල් එකක් දාපු වෙලාවක ඒක නෝ බෝල් එකක් වශයෙන් සටහන් කිරීමට මම අපොහොසත් වුණොත් ඒකත් වැරැදියි. ඒ කියන්නේ ක්‍රීඩකයකු සීමා ඉර ඉක්මවා කකුල පෑගුණ අවස්ථාවේදීම අපි එය නෝ බෝල් කියලා ක්ෂණිකයෙන්ම සංඥා කළ යුතුයි. බෝලේ පිතිකරුවාට ලැබුණට පස්සේ ඒක නෝ බෝල් කියලා සංඥා කළොත් වැරැදියි. ඒ වගේ වැරැද්දක් තමයි මෙතැනත් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ප්‍රධාන විනිසුරුවරයා දෙන තීරණයක් අනෙක් විනිසුරුවරයාගෙන් අහන්න ඕන නැහැ. ඒත් මම මරේගෙන් ඇහුවා ‘මරේ ඔයා මොකද හිතන්නේ මේ ගැන කියලා. එයත් කිව්වේ 100%ක් ෂුවර් ඒ දෙන්නා ක්‍රීස් කළා කියලා. (සීමාව සටහන් කළා කියලා) තව වෙන මොනවද මම කරන්න ඕන. මම පෞද්ගලිකවම හිතනවා ඒ අවස්ථාවේදී මම ගත්ත තීරණය හරි කියලා. ඒ අවස්ථාවේදී කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි කළේ. අද වෙනකම් නවසීලන්ත ක්‍රීඩකයකු තියා නවසීලන්තයේ කිසිම කෙනෙක් මේ සම්බන්ධයෙන් මමත් එක්ක කතා කරලා නැහැ.

තරගයෙන් පසුව තරග තීරකවරයා ලෙස කටයුතු කළ රන්ජන් මඩුගල්ලේ මහත්මයා මේ ගැන ඔබෙන් විමසීමක් කළාද?ඒ මහත්මයා මගෙන් අහන්නේ මොනවද? සමහර වෙලාවට තරගයකදී අපි වයිඩ් තුන හතරක් දෙනවා. ඇයි වයිඩ් දුන්නේ කියලා එයා මගෙන් අහන්නේ නැහැ. කොහොම වුණත් මම වැරැද්දක් කරලා තියෙනවා කියන ඔය සයිමන් ටෝෆල් කියන විනිසුරුවරයා අයි.සී.සී.යෙන් එළවලා තියෙන කෙනෙක්. එයා දැන් අයි.සී.සී.ය සමඟ කිසි සම්බන්ධයක් නැහැ. එයා කියවලා තියෙන්නේ නීති පොතේ භාගයක් වෙන්න ඇති. හැබැයි මම ඔය නීති පොත සම්පූර්ණයෙන්ම කියවලා තියෙනවා. මම දන්නෙ නැති කෙනෙක් වගේ වැඩ කරන්නෙ නැහැ. එහෙම කරනවා නම් මම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක විනිසුරුවරයකු විදියට දාවිද? අනිත් එක මම වගේ කළු ජාතිකයකුට අවුරුදු තුනක්ම ලෝකෙ අංක එක ලබා දේවිද? තරග තීරක ලෙස කටයුතු කළ රංජන් මහත්මයා කරන්නේ වෙනම රාජකාරියක්. එයා කවදාවත් අපි දුන්න තීරණයක් ගැන අහන්නෙත් නැහැ. අහලත් නැහැ. අදටත් මම කියන්නේ මම ගත්තු තීරණය හරි. ඒත් අපේ අය මේ පිළිබඳව මෙච්චර එළවන්නේ ඇයි කියලා මට හිතාගන්න බැහැ. මේ හැම මඩ ප්‍රහාරයක්ම ගහන්නේ මම ශ්‍රී ලාංකිකයෙක් නිසාද? ඊයේ පෙරේදා දවසක මම මගේ බිරියව ගේන්න එයාර්පෝට් එකට ගියාම අපේ අය අහපු දේවල් දැක්කහම ලංකාව ගැන කනගාටුවක් දැනෙනවා. වෙලාවක හිතෙනවා ලංකාවෙන් යන්න. ඒත් මම හැමදාමත් ලංකාව වෙනුවෙන් පෙනී සිටින ලංකාවට ආදරය කරන කෙනෙක් නිසා ඒකත් කරන්න අමාරුයි. අද මම වෙන රටක හිටිය නම් මම හිතන්නේ නැහැ අපේ අය මේ ගැන කතා කරයි කියලා. මම ශ්‍රී ලාංකිකයෙක් නිසා කතා කරනවා එහෙම නේද? මට මේ ගැන මෙයට වඩා කියන්න පුළුවන්. ඒත් මට කතා කරන්න පුළුවන් සීමාවක් තියෙනවා” යැයි සඳහන් කිරීම තුළ ඔහුට කීමට බොහෝ දේ ඇති බව වැටහුණද මේ කරුණු කාරණා ප්‍රමාණවත් වූ හෙයින් ඔහුගෙන් සමුගතිමි.කෙසේ නමුත් 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘උනන්දුවා’ යන සුරතල් නාමයෙන් මුලු ලෝකයක්ම දැන හැඳිනගත් කුමාර ධර්මසේන යන ශ්‍රී ලාංකිකයා කරනු ලබන සේවය ඇගයීම විනා ඔහුට ‘මඩ’ ගසා ඔහුගේ ගමන නතර කිරීමට උත්සාහ ගැනීම ශ්‍රී ලාංකිකයකු වශයෙන් අප අපටම කරගන්නා මහත් විනාශයක් වනු ඇති බව කිව යුතුමය.
විචිත්‍ර වීරසිංහ