චන්දි නැති හේතුවටත් පිළිතුරු

බංග්ලාදේශය සමග ලබන 26 වනදා පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් පසුව ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමු ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.බංග්ලාදේශ තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට අද කොළඹ දී එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.ඉදිරීයේ දී පැවැත්වෙන සෑම තරගාවලියක දී ම නව ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට අවස්ථාව ලබා දෙන බව ද දිමුත් මෙහිදී කියා සිටියා.ලසිත් මාලිංග විශ්‍රාම ගැනීමෙන් පසු කඩුලු ලබා ගත හැකි පන්දු යවන්නන් සොයා ගැනීමේ අභියෝගයට ද ශ්‍රී ලංකාව මුහුණ දෙන බවයි දිමුත් කරුණාරත්න කියා සිටියේ.බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා සංචිතයට ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියා.ඊට පිළිතුරු ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කියා සිටියේ එංගලන්ත තණතීරුවලට ගැලපෙන පරිදි ලෝක කුසලාන සංචිතය නම් කළ බවයි.බංග්ලාදේශට එරෙහි සංචිතය නම් කර ඇත්තේ මෙරට තණතීරුවලට ගැලපෙන පරිදි බව ද දිමුත් සදහන් කළා.දිනේෂ් චන්දිමාල් සංචිතයට නම් නොකිරීම සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු ලබා දුන් දිමුත් කරුණාරත්න පැවසුවේ එම පැනය තේරීම් කමිටුවෙන් විමසීම වඩාත් සුදුසු බවයි.කණ්ඩායමේ ඔහුට ක්‍රීඩා කිරීමට ඇති ස්ථානය සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් චන්දිමාල් සංචිතයට නම් කර නොමැති බව ද ඔහු සදහන් කළා.කෙසේ වෙතත්, ඔහු ඉදිරි සැලසුම්වලින් සම්පූර්ණයෙන් ඉවත් කර නොමැති බවත්, ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් පමණ යුත් මූලික සංචිතයක ක්‍රීඩකයින් සමග ඉදිරි තරගාවලියන් සදහා ක්‍රීඩා කරන බවත් දිමුත් කියා සිටියා.2023 ලෝක කුසලානය සදහා ශක්තිමත් සංචිතයක් සකස් කර ගැනීම එහි අරමුණ බවයි ශ්‍රී ලංකා නායකයා කියා සිටියේ.