මගේ ජීවිත කාලය පුරාම මම ඒ ගැන සමාව ඉල්ලනවා

නවසීලන්තය පරාජයට පත් කරමින් ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (14) සමත්වුණා.එංගලන්තය මෙම ජයග්‍රහණය වාර්තා කරනු ලැබුවේ තරගයේදී ඔවුන් එල්ල කරනු ලැබූ හතරේ පහරවල් සංඛ්‍යාව නවසීලන්ත පිලට වඩා වැඩිවීම හේතුවෙන්.ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයකදී මේ අයුරින් කණ්ඩායමක් ජයගත් පළමු අවස්ථාව ලෙස ඊයේ තරගය ඉතිහාසයට එක්වනවා.කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 241 ක් රැස් කළා.නවසීලන්ත කණ්ඩායම සිය පන්දු වාර 50 තුළදී හතරේ පහරවල් 14 ක් සහ හයේ පහරවල් 2 ක් එල්ල කරනු ලැබුවා.ලකුණු 242 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් සිය පන්දු වාර 50 අවසානයේදී සියලුදෙනා දැවී ලකුණු 241 ක් ලබාගනිමින් නවසීලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව සම කළා.එහිදී එංගලන්ත පිතිකරුවන් සිය ඉනිම තුළදී හතරේ පහරවල් 22ක් සහ හයේ පහර 2 ක් එල්ල කරනු ලැබුවා.කණ්ඩායම් දෙකම සම ලකුණු රැස් කිරීම හේතුවෙන් තරගයේ තීරණය ලබාගැනීම සඳහා සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක වූ අතර, පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම එහිදී ලකුණු 15 ක් රැස් කළා.ලකුණු 16 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසියේ නවසීලන්ත කණ්ඩායමේ ජිම් නීෂම් සහ මාටින් ගප්ටිල්.කෙසේ වෙතත් ජෝෆර් ආචර් විසින් යැවූ සුපිරි ඕවරයේ පළමු පන්දු 5 තුළදී ලකුණු 14 ක් ලබාගත් නවසීලන්ත පිතිකරුවන් යුගලය අවසාන පන්දුවේදී තරගය ජයග්‍රහණය සඳහා රැස් කිරීමට අවශ්‍යව තිබුණේ ලකුණු 2 ක් පමණයි.නමුත් අවසාන පන්දුවේදී මිඩ් විකට් කලාපයට පහරක් එල්ල කරමින් මාටින් ගප්ටිල් පළමු ලකුණ ලබාගෙන දෙවන ලකුණ කරා දිවයාමේදී ඔහුව දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ජොස් බට්ලර් සමත්වුණා.ඒ අනුව සුපිරි පන්දු වාරයේදීද දෙපිලම ලබාගත් ලකුණු සංඛ්‍යාව සමවුණා.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතියට අනුව වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කරනු ලැබූ එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලානය දිනාගත් කණ්ඩායම ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.1975 වසරේ ආරම්භ කරනු ලැබූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ගතවූ වසර 44 තුළදී අවසන් මහා තරගයක තීරණය ලබාගැනීම සඳහා සුපිරි පන්දු වාරයක අවස්ථාව දක්වා පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, ඉන්ද තීරණයක් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කරනු ලැබූ කණ්ඩායම ලෝක ශූරයින් බවට පත්වූ අවස්ථාව ලෙස ඊයේ තරගය ඉතිහාසයට එක්වනවා.

තරඟාවලියේ වීරයා ලෙස නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන් සම්මානයට පාත්‍රවුණා.තරගයේ වීරයා ලෙස බෙන් ස්ටොක්ස් නම් කරනු ලැබූවා.මේ අතර තරඟයේ සිදුවූ එක් සිදුවීමක් පිළිබදව තමන් කණගාටුවන බව බෙන් ස්ටොක්ස් පවසනවා.එංගලන්ත ඉනිමේ අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුවේදී මෙම සිදුව්ම සිදුවන අතර පන්දු රකින ක්‍රීඩකයෙක් විසින් නවසීලන්ත කඩුලු රකින ක්‍රීඩකයා වෙත යොමු කරන පන්දුව එම අවස්ථාවේ කඩුලු අතර දුවමින් සිටි බෙන් ස්ටොක්ස්ගේ ශරීරයේ වැදී හතරේ සීමාව වෙත ඇදී යනවා.ඒ අනුව එංගලත්න පිලට අතිරේක ලකුණු 04ක් එක්වුණා.එම අවස්ථාවේ එංගලන්ත පිළට පන්දු 03ක් තුල ලකුණු 09ක් අවශ්‍යව තිබූ අතර එම සිදුවීම සිදුවන අවස්ථාවේ පිතිකරුවන් දෙදෙනා කඩුලු අතර දිවයමින් ලකුණු 02ක් රැස්කරගෙන තිබූ අතර පන්දුව බෙන් ස්ටොක්ස්ගේ ශරීරයේ වැදී හතරේ සීමාව වෙත ගොස් එංගලන්ත පිලට එක්වූ අතිරේක ලකුණු 04ත් සමඟ එම පන්දුවේදී එංගලන්ත පිලට ලකුණු 06ක් හිමිවුණා.එම අවස්ථාවට මුහුණ දුන් බෙන් ස්ටොක්ස් සිදුවූ එම සිදුවීම සම්බන්ධයෙන් “මම කේන්ට කිව්වා මගේ ජීවිත කාලය පුරාම මම ඒ ගැන සමාව ඉල්ලනවා” යනුවෙන් පවසා තිබෙනවා.